• Chathura Ramanayake

තරගාවලියේ වැඩිම කඩුලු ලාභී කෞමාල් නානායක්කාරගෙන් අදත් විශිෂ්ට පන්දු යැවීමක්

අන්තර් සමාජ තුන්දින තරගාවලියේ තවත් තරග 12ක් අද දිනයේදී ආරම්භ විය. අද දිනයේදී දක්ෂතා අතරට පැමිණි ක්‍රීඩකයන් හා ඔවුන්ගේ දක්ෂතා ක්‍රීඩා ලෝලී ඔබ වෙත තිලිණ කිරීමට Creedanet අප සූදානම්.





එන් සී සී ක්‍රීඩා සමාජය හා නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර තරගයේදී නාවික හමුදා පළමු ඉනීම ලකුණු 129කට සීමා වුණා. එහිදී ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 45කට කඩුලු 3ක් හා සහන් ආරචිචිගේ ලකුණු 23කට කඩුලු 3ක් දවාගත්තා. එන් සී සී කණ්ඩායමේ පළමු ඉනීමේදී විනුක රූබසිංහ හතරේ පහර 7ක් සමගින් නොදැවී ලකුණු 66ක් රැස්කළා.


නුගේගොඩ ක්‍රීඩා සමාජය සමගින් පැවති තරගයේදී ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ මිශේන් සිල්වා හතරේ පහර 11ක් හා හයේ පහර 5ක් සමගින් ලකුණු 102ක් රැස්කළා. සුපේෂල ජයතිලක ලකුණු 57ක්ද රොස්කෝ තට්ටිල් ලකුණු 71ක්ද ගුවන් හමුදා ඉනීමට එක් කළා. නුගේගොඩ ක්‍රීඩා සමාජයේ රනිත ලියනාරච්චි ලකුණු 33කට කඩුලු 3ක් දවාගත්තා.


පොලිස් ක්‍රීඩා සමාජය සමගින් පැවති තරගයේදී කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ ධනංජය ලක්ෂාන් ලක්ෂාන් ලකුණු 78ක්ද හෂාන් දුමිදු ලකුණු 75ක්ද අවිශ්ක පෙරේරා ලකුණු 53ක්ද රැස්කළා. පොලිස් ක්‍රීඩා සමාජයේ නලින් ප්‍රියදර්ශන ලකුණු 108කට කඩුලු 4යි.


රාගම ක්‍රීඩා සමාජයට එරෙහි තරගයේදී කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩක විශ්ව විජේරත්න හතරේ පහර 13ක් සමගින් නොදැවී ලකුණු 102ක් හා ඉමේෂ් උදයංග ලකුණු 67ක් රැස්කළා. රාගම පිළේ නායක ජනිත් ලියනගේ ලකුණු 54කට කඩුලු 3යි.


බදුරලිය ක්‍රීඩා සමාජයට එරෙහි තරගයේදී සැරසන්ස් නායක සිතාර ගිම්හාන් ලකුණු 82ක් රැස්කළේ හතරේ පහර 7ක් හා හයේ පහර 2ක් සමගිනි. කලුතර නාගරික පිළට එරෙහිව පැවති තරගයේදී සෙබස්තියනයිට්ස් ක්‍රීඩක තරිඳු රත්නායක ලකුණු 78කට කඩුලු 6ක් දවාගත්තේය.


එස් එස් සී ක්‍රීඩා සමාජය සමගින් පැවති තරගයේදී මුවර්ස් ක්‍රීඩක පසිදු සූරියබණ්ඩාර හතරේ පහර 13ක් සමගින් නොදැවී ලකුණු 123ක් රැස්කොට සිටියා. එමෙන්ම සොහාන් ලිවේරා ලකුණු 70ක් මුවර්ස් ලකුණු පුවරුවට එක් කිරීමට සමත් වුණා.


යුධ හමුදා ක්‍රීඩා සමාජය හා ඒස් කැපිටල් ක්‍රීඩා සමාජය අතර තරගය පන්දු යවන්නන් මත තීරණය වූ තරගයක් බවට පත් වුණා. යුධ හමුදාව පළමු ඉනීමට ලකුණු 133යි. ලසිත් ක්‍රෝස්පුල්ලේ ලකුණු 13කට කඩුලු 3යි. ප්‍රතිවාදී ඒස් කැපිටල් පළමු ඉනීම ලකුණු 82කට සීමා වුණා. කෞමාල් නානායක්කාර ලකුණු 33ට කඩුලු 6ක්ද හෂාන් සංදීප ලකුණු 30ට,කඩුලු 3ක් ද දවාගත්තා. දිනය අවසානයේදී යුධ හමුදා දෙවන ඉනීම කඩුලු 3කට ලකුණු 46ක් ලෙසින් දිස්වුණා. එහිදී යොවුන් ක්‍රීඩක වනුජ සහන් ලකුණු 10ට කඩුලු 3යි.


මීගමුව ක්‍රීඩා සමාජයට එරෙහි තරගයේදී ටැමිල් යුනියන් ක්‍රීඩක රවිදු ප්‍රනාන්දු හතරේ පහර 7ක් හා හයේ පහර 5ක් සමගින් ලකුණු 105යි. රොන් චන්ද්‍රගුප්ත ලකුණු 70ක් හා දිලුම් සුදීර නොදැවී ලකුණු 50යි.


බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට එරෙහි තරගයේදී හලාවත මේරියන්ස් ආරම්භක පිතිකරු විශ්ව චතුරංග හතරේ පහර 20ක් හා හයේ පහර 6ක් සමගින් ලකුණු 172ක්ද කසුන් විදුර හතරේ පහර 12ක් හා හයේ පහර 4ක්ද සමගින් ලකුණු 113ක් රැස්කළ අතර පන්දු යැවීමේදී බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩක මධුක ලියනපතිරණ ලකුණු 107ට කඩුලු 4යි.


කුරුණෑගල යූත් පිලට එරෙහිව කොළඹ ක්‍රීඩා සමාජයේ මිනෝද් භානුක හතරේ පහර 10ක් හා හයේ පහර 3ක් සමගින් ලකුණු 105ක් රැස්කළ අතර කමිදු මෙන්ඩිස් ලකුණු 82ක් හා නිමේෂ් ගුණසිංහ ලකුණු 61ක් රැස්කළා. කුරුණෑගල පිළ වෙනුවෙන් අසිත වන්නිනායක හා සකිදු විජේරත්න කඩුලු 3 බැගින් දවාගත්තා.


බී ආර් සී පිළට එරෙහි තරගයේදී ලන්ක්න් ක්‍රීඩා සමාජයේ දේශාන් ඩයස් හතරේ පහර 14ක් හා හයේ පහරක් සමගින් ලකුණු 130ක් රැස්කළ අතර නොදැවී පන්දුවට පහරදුන් ප්‍රසන්න ජයමාන්න හතරේ පහර 12ක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 138ක් රැස්කළා.

40 views0 comments