• Chathura Ramanayake

තරග ආකෘති තුනම ක්‍රීඩා කිරීම දුෂ්කර වේවි - ක්වින්ටන් ඩි කොක්



තරග වලින් පිරී ඇති ක්‍රිකට් කාලසටහනට තවත් තරඟ එකතු කළහොත් ක්‍රීඩකයින්ට ක්‍රිකට් ආකෘති තුනටම සහභාගී වීම දුෂ්කර වනු ඇති බව දකුණු අප්‍රිකානු ක්‍රීඩක ක්වින්ටන් ඩි කොක් සදහන් කොට ඇත.

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් මේ මාසයේ එක්දින ජාත්‍යන්තර තරඟවලින්  විශ්‍රාම ගන්නා බව ප්‍රකාශ කිරීමත් සමඟ කාර්යබහුල ක්‍රිකට් දින දර්ශනය විවේචනයට ලක් විය.


ස්ටෝක්ස්ගේ තීරණය පිටුපස ඇති හේතු තමාට වැටහුණු බව හිටපු පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක වසීම් අක්‍රම් පසුගිය සතියේ ප්‍රකාශ කළේය. එමෙන්ම  හිටපු එංගලන්ත නායක නසාර් හුසේන් ලෝක ක්‍රිකට් කාලසටහන “පිස්සුවක්” ලෙසද හදුන්වා ඇත.


" තරග ආකෘති තුනම ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට මෙය අපහසු වේවි.ක්‍රීඩකයන් තනි තනිව තීරණ ගත යුතුයි. ඔවුන්ට ආකෘති තුනම ක්‍රීඩා කරන්න පුලුවන් කියලා හිතෙනවා ඔවුන්ට එසේ කළ හැකියි. මම ඔවුන් ගැන සතුටු වෙනවා."


29 හැවිරිදි කඩුලු රකින පිතිකරු ක්වින්ටන් ඩි කොක් පසුගිය දෙසැම්බර් මාසයේදී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යන බව නිවේදනය කළේ තම පවුලේ අය සමඟ වැඩි කාලයක් ගත කිරීමට අවශ්‍ය බව පවසමිනි.


"මම ලීග කිහිපයක් ක්‍රීඩා කිරීමට සම්බන්ධ වී ඉන්නවා. නමුත් එය මගේ කැමැත්ත.මම එසේ ක්‍රීඩා කිරීම ගැන සතුටු වෙනවා."


"ඔබ තවමත් තරුණ වියේ පසුවනවා නම් ඔ ආකෘති තුනම ක්‍රීඩා කළ යුතුයි. ඔබේ වෘත්තීය ජීවිතය තුළ යම් යම් දේවල් කළ යුතුයි.  වයසට යන්නට පටන් ගැනීමත් සමඟ එය දුෂ්කර වීමට පටන් ගන්නවා  ශරීරය වෙනදා මෙන් ක්‍රීඩාවට සහයෝගයෙන් ක්‍රියා කරන්නෙ නෑ.  නමුත් මම කෙමෙන් කෙමෙන් මගේ වෘත්තීය ජීවිතය තුළ සිටිය යුත්තේ කොතැනද කියා සිතිය යුතු වයසකට පැමිණෙමින් ඉන්නවා"  යනුවෙන් ක්වින්ටන් ඩි කොක් සදහන් කොට ඇත.

870 views0 comments