• Chathura Ramanayake

ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ පිට පිට දෙවන වරටත් ශූරයන් වෙති !!!



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ එක්දින තරගාවලියේ අවසන් මහා තරගය අද දිනයේදී පැවැත්වූයේ කොළඹ SSC ක්‍රීඩාංගණයේදීය. මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් යුධ හමුදා නායක තිසර පෙරේරා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව ඉනීම ආරම්භ කරමින් පිටියට පිවිසියේ අශාන් රන්දික හා සීක්කුගේ ප්‍රසන්නයි. නමුත් යුධ හමුදා ඉනීමට ලකුණු 13ක් පමණක් එක්වන තැන මුල්පෙළ කඩුලු 3ක් දවාගැනීමට සන්තුෂ් ගුණතිලකට හැකිවිය.


යුධ හමුදා කණ්ඩායම වෙනුවෙන් ලක්ෂාන් එදිරිසිංහ ලකුණු 17ක් හා සුමින්ද ලක්ෂාන් ලකුණු 28ක් එක් කරන්නට සමත් වද්දී නායක තිසර පෙරේරා ලකුණු රැස්කිරීමට පෙරාතුව ක්‍රීඩාගාරයට හරවා යවන්නට ශිරාන් ප්‍රනාන්දු සමත්කම් දැක්වීය. අනතුරුව අසේල ගුණරත්න හා මහේෂ් කුමාර එක්ව හයවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 74ක සබදතාවක් ගොඩනගන්නට විය. අසේල ගුණරත්න පන්දු 88කදී හතරේ පහර 4ක් සමගින් ලකුණු 59ක් රැස්කිරීමට අද දිනයේදී සමත් විය. යුධ හමුදා කඩුලු රකින ක්‍රීඩක මහේෂ් කුමාර පන්දු 78කදී හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 57ක් රැස්කළේය. පන්දුවාර 49 පන්දු 5ක් අවසානයේදී සියලු ක්‍රීඩකයන් දැවී යුධ හමුදා කණ්ඩායමට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 198ක් පමණි. පන්දු යැවීමේදී ඉසුරු උදාන හා සන්තුෂ් ගුණතිලක කඩුලු 3ක් බැගින් බිදහෙලීය.


ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන ටැමිල් යුනියන් ආරම්භක පිතිකරු යුගලය පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 41ක් එක් කරන්නට විය. රොන් චන්ද්‍රගුප්ත ලකුණු 13කදී කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකරගන්නට අසංක මනෝජ්ට හැකිවිය. පන්දුවාර 14 පන්දු 3ක් අවසානයේ ලකුණු පුවරුව එක් කඩුල්ලකට ලකුණු 67ක් ලෙසින් දිස්වන විට වර්ෂාව හරස්වීම හේතුවෙන් තරගය පන්දුවාර 8කින් අඩු කෙරිණි. ආරම්භ පිතිකරු දිල්රුවන් පෙරේරා ලකුණු 37ක් රැස්කොට සිටියදී දුවද්දී දැවීයාමට හසුවිය. අනතුරුව සදීර සමරවික්‍රම හා පිටියේ එක්වූ නවෝද් පරණවිතාන ටැමිල් යුනියන් කණ්ඩායම ජයග්‍රාහී මාවතට රැගෙන යාමට වෑයම් කළහ.


ටැමිල් යුනියන් කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 141ක් රැස්කොට සිටියදී පන්දුවාර 29 පන්දු 2ක් ක්‍රියාත්මක කොට තිබූ අතර එම අවස්ථාවේදී තවත් පන්දුවාර 5ක් අඩු කිරීම හේතුවෙන් පන්දුවාර 37ක් තුළ ඩක්වත් ලුවිස් න්‍යාය අනුව හිමිවූ ඉලක්කය ලකුණු 153කි. ජයග්‍රහණයට ලකුණු 6ක් පමණක් අවශ්‍යව තිබියදී නවෝද් පරණවිතාන ලකුණු 32කට දැවී යන්නේ අසංක මනෝජ්ගේ පන්දුවක් හමුවේය. පන්දුවාර 31 පන්දු 2ක් අවසානයේදී කඩුලු 3ක් පමණක් දැවී තිබියදී නියමිත ඉලක්කය සපුරාලීමට ටැමිල් යුනියන් ක්‍රීඩකයන් සමත් විය. ටැමිල් යුනියන් කණ්ඩායම වෙනුවෙන් අගනා නොදැවුනු ඉනීමක් ක්‍රීඩා කළ සදීර සමරවික්‍රම පන්දු 70කදී හතරේ පහර 4ක් සමගින් ලකුණු 58ක් රැස්කිරීමට සමත් විය. ඒ අනුව පිට පිට දෙවන වරටත් අන්තර් සමාජ එක්දින තරගාවලියේ ශූරයන් ලෙසින් කිරුලු දරන්නට ටැමිල් යුනියන් ක්‍රීඩකයන් අද දිනයේදී සමත් විය.


අවසන් මහා තරගයේ වීරයා ලෙසින් ටැමිල් යුනියන් ක්‍රීඩක සදීර සමරවික්‍රම සම්මාන ලබද්දී තරගාවලියේ වීරයා බවට ජනිත් ලියනගේ සම්මානයට පාත්‍ර විය. එමෙන්ම තරගාවලියේ හොදම පිතිකරුවා බවට කසුන් විදුරද හොදම පන්දු යවන්නා බවට දුවිදු තිලකරත්නද සම්මාන ලැබීය.


යුධ හමුදා කණ්ඩායම : 198/10 (49.5)

අසේල ගුණරත්න 59, මහේෂ් කුමාර 57

සන්තුෂ් ගුණතිලක 3/14, ඉසුරු උදාන 3/31


ටැමිල් යුනියන් කණ්ඩායම : 153/3 (31.2)

සදීර සමරවික්‍රම* 58, දිල්රුවන් පෙරේරා 37, නවෝද් පරණවිතාන 32

අසංක මනෝජ් 2/27

0 views0 comments