• Chathura Ramanayake

ජොහාන් බෝතාගෙන් නවසීලන්ත ලෙජන්ඩ්ස් පිළට එරෙහිව විශිෂ්ට පන්දු යැවීමක්

Road safety ලෝක ශූරතා තරගාවලියේ සිව්වන තරගය ඊයේ රාත්‍රියේදී පැවැත්වුණේ නවසීලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම හා දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතරයි. කාන්පූර්හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් නවසීලන්ත ලෙජන්ඩ්ස් නායක රෝස් ටේලර් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.


නමුත් පිටියට පිවිසෙන නවසීලන්ත ලෙජන්ඩ්ස් පිතිකරුවන්ට සාර්ථක වන්නට දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් පන්දු යවන්නන් හමුවේ ඉඩක් නොලැබුණි. නවසීලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායමේ පිතිකරුවන් දෙදෙනෙකුට පමණක් ලකුණු 10 සීමාව ඉක්මවන්නට හැකිවිය. ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ඩීන් බ්‍රවුන්ලී ලකුණු 48ක් රැස්කළ අතර ගැරෙත් හොප්කිංග්ස් නොදැවී ලකුණු 18ක් රැස්කිරීමට සමත් විය. ඒ අනුව නවසීලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 8ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 99ක් පමණි.



දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් විශිෂ්ට දස්කම් පෑ ජොහාන් බෝතා ලකුණු 11කට කඩුලු 4ක් දවාගනිද්දී තන්ඩී ශබලාලා ලකුණු 9කට කඩුලු 3ක් බිදහෙලීය. පහසු ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 13 පන්දු 3ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී තරගයේ ජයග්‍රහණය හිමිකරගැනීමට සමත් විය.


ආරම්භක පිතිකරු ඇන්ඩෘ පුටික් පන්දු 36කදී හතරේ පහර 4ක් හා හයේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 51ක්ද, ඇල්වීරෝ පීටර්සන් නොදැවී ලකුණු 29ක්ද රැස්කළහ. මෙම ජයත් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානය හිමිකරගැනීමට දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට හැකි විය.

78 views0 comments