• Chathura Ramanayake

ජූලි මාසයේ ICC ක්‍රීඩකයාට හිටපු ශ්‍රී ලංකා නායකයාගෙන් පැසසුම්



ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් වරම් ලබමින් ප්ප්වසරේ මෙතෙක් වැඩිම ටෙස්ට් කඩුලු දවාගෙන සිටින ප්‍රභාත් ජයසූරිය, හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධනගේ පැසසුමට ලක්වී ඇත. ටෙස්ට් ක්‍රිකට් පිටියට ප්‍රභාත් සුවිශේෂී ආරම්භයක් ලබාගත් බවත් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉදිරියේදීත් හොදින් දක්ෂතා දක්වනු ඇතැයි තමා අපේක්ෂා කරන බවත් මහේලගෙ ජයවර්ධන සදහන් කොට ඇත.


තිස් හැවිරිදි වියෙහි පසුවන ප්‍රභාත් ජයසූරිය තමා ක්‍රීඩා කළ සෑම ඉනීමකදීම කඩුලු 3කට වැඩියෙන් දවාගෙන ඇත. එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ප්‍රධානය කරන ICC මාසික ක්‍රීඩකයා සම්මානය ජූලි මාසයේදී හිමි වූයේ ප්‍රභාත් ජයසූරියටයි.


" ඔහු පළමු පෙළ තරග බොහෝමයකට ක්‍රීඩා කරලා තියෙනවා. ඒ වගේම ඔහුට විශාල අත්දැකීම් ප්‍රමාණයක් තියෙනවා. පසුගිය දශකයේ දගපන්දුවේ ආධිපත්‍යය දැරුවේ රංගන හේරත්. ඔහුගෙන් පසුව තරුණ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු සමග අපි ක්‍රීඩා කළා"


" ලසිත් ඇඹුල්දෙණියත් ඔහුගේ මංගල තරගයේදී වගේම මුල් තරගාවලි වලදී හොදින් ක්‍රීඩා කළා. ඒ වගේම ප්‍රවීන් ජයවික්‍රමත් හොදින් පන්දු යැව්වා. ඒ නිසා ප්‍රභාත්ට අවස්ථාව එනකල් බලන් ඉන්න වුණා. අවසන් වසර කිහිපය තුළ ප්‍රභාත් ස්ථාවරත්වය පවත්වා ගනිමිනි ක්‍රීඩා කළා. තේරීම් කමිටුව ඔහු ගැන විශ්වාසය තියලා ඔහුව කණ්ඩායමට ගෙනාවා."


" ඔහුට ඉතාමත් හොදින් ක්‍රීඩා කරන්න පුලුවන්. මොකද ඔහු ස්වභාවික පන්දු යවන්නෙක්. ඒ වගේම ඔහු බොහෝ තරග ක්‍රීඩා කරලා තියෙනවා. දේශීය තරග වල ක්‍රීඩා කරද්දි මම ඔහුව SSC කණ්ඩායමේදී හොදින් දැකලා තියෙනවා. ඔහුට හොද ඉරියව්වක් තියෙනවා. විදෙස් සංචාරකදී වුවද ඔහුට පන්දුව නියමිත ස්ථානයේ පතිත කරන්න පුලුවන් උනොත් ඔහුගේ උසත් එක්ක හොද ඉපිලීමක් ගන්න පුලුවන් වෙයි."


ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානයේ රැදී සිටියි. කණ්ඩායම පිළිබඳව ද හිටපු නායක මහේල ජයවර්ධන මෙහිදී අදහස් දක්වා ඇත.


" ඇත්තෙන්ම ඔවුන් හොද විදියට ක්‍රිඩා කළා. විශේෂයෙන් පාකිස්තානය හා ඕස්ට්‍රේලියාවට එරෙහිව හොද ස්ථාවරත්වයක් රදවා ගනිමින් ක්‍රීඩා කළා. ශ්‍රී ලංකාවට තරග සංචාරයන්හිදී ජයග්‍රහණය කළ හැකි වුවොත් ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයකට ක්‍රීඩා කිරීමට හැකිවේවි. අනිකුත් කණ්ඩායම් වල ප්‍රතිඵලයද  අපට වාසි සහගත විය යුතුය." යනුවෙන් මහේල ජයවර්ධන මහතා සදහන් කොට ඇත

16 views0 comments