• Chathura Ramanayake

චමීර හා අෆ්‍රිඩිගේ ආදේශක ක්‍රීඩකයන් නම් කෙරේ !!!



ආසියානු කුසලාන තරගාවලිය එළඹෙන අගෝස්තු මස 27වනදා ආරම්භ වීමට නියමිතය. තරගාවලිය සදහා නම් කෙරුණු ශ්‍රී ලංකා සංචිතයෙන් වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඉවත් කොට ඇත. ඒ ඔහු ආබාධයකට ලක්ව තිබීම හේතුවෙනි.


ඔහු වෙනුවට වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ශ්‍රී ලංකා සංචිතය කැදවා ඇත. විසිඅට හැවිරිදි වියෙහි පසුවන නුවන් තුෂාර විස්සයි විස්ස තරග 57කදී කඩුලු 71ක් දවාගැනීමට සමත් වී ඇත. මේ අතර බිනුර ප්‍රනාන්දු හා කසුන් රාජිත වෙනුවටද අසිත ප්‍රනාන්දු හා ප්‍රමෝද් මදුෂාන් මින් පෙර ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කෙරිණි.


එමෙන්ම ආසියානු කුසලාන තරගාවලිය සදහා නම් කෙරුනු පාකිස්තාන සංචිතයෙන් වේගපන්දු යවන ක්‍රීඩක ශහීන් අෆ්‍රිඩි ඉවත් කිරීමට පසුගියදා සිදුවිය. ඒ ඔහුගේ ආබාධ තත්වය ඒ වන තෙක් සුව නොවීම හේතුවෙනි.

ශහීන් අෆ්‍රිඩි වෙනුවට වේගපන්දු යවන ක්‍රීඩක මොහොමඩ් හස්නේන් පාකිස්තාන සංචිතයට කැදවා ඇත. විස් දෙහැවිරිදි වියෙහි පසුවන හස්නේන් පාකිස්තානය වෙනුවෙන් විස්සයි විස්ස තරග 18කට ක්‍රීඩා කරමින් කඩුලු 17ක් දවාගැනීමට සමත් වී ඇත.


මොහොමඩ් හස්නේන් මේ වන විට එංගලන්තයේ පැවැත්වෙන The Hundred තරගාවලියට ක්‍රීඩා කරන අතර ඔහු ඉදිරියේදී පාකිස්තාන සංචිතය සමගින් එක් වීමට නියමිතය.


නෙදර්ලන්තයට එරෙහි එක්දින තරගාවලිය සදහා ඇතුළත් නොවූ ක්‍රීඩකයන් වන අසිෆ් අලී, හයිඩර් අලී, ඉෆ්තිකාර් අහමඩ් හා උස්මාන් කාදිර් යන ක්‍රීඩකයන් හෙට දිනයේදී ඩුබායි බලා පිටත්වීමට නියමිත බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කොට ඇත.


පාකිස්තාන කණ්ඩායම එළඹෙන අගෝස්තු මස 28වනදා ඉන්දියාවට එරෙහිව සිය පළමු තරගය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතය.

875 views0 comments