• Chathura Ramanayake

චන්දිමාල් හා දුනිත්ට ආසියානු කුසලානයේදී අවස්ථාවක් නොලැබෙන ලකුණු?



ආසියානු කුසලාන තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයන් විසිදෙනෙකුගෙන් සමන්විත සංචිතයක් මේ වන විට ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිර්දේශය වෙත යොමු කොට ඇත. එමෙන්ම එම සංචිතය අද දිනයේදී කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සිය පුහුණුවීම් ආරම්භ කරන බවද අපි මින් පෙර වාර්තා කළෙමු.


එම සංචිතයට දුනිත් වෙල්ලාලගේ හා දිනේෂ් චන්දිමාල් ඇතුළත් වී නොමැති බවට ක්‍රීඩා ආරංචිමාර්ග සදහන් කරයි. ඔවුන් දෙදෙනා අද දිනයේදී ආරම්භ වූ අන්තර් සමාජ තුන් දින තරගාවලියේදී සිය කණ්ඩායම් වෙනුවෙන් ක්‍රීඩා කරනු දැකගත හැකිවිය.


එමෙන්ම ආරාධිත විස්සයි විස්ස තරගාවලියේ දක්ෂතා දැක්වූ ආරම්භක පිතිකරුවන් වන ලසිත් ක්‍රෝස්පුල්ලේ හා තානුක දාබරේද අන්තර් සමාජ තුන්දින තරගාවලියට ක්‍රීඩා කරයි. තවද ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල ද සිය ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරනු දක්නට ලැබිණි.මුවර්ස් නායක රමේෂ් මෙන්ඩිස් හා අකිල ධනංජය ද අද දිනයේදී සිය ක්‍රීඩා සමාජ නියෝජනය කළේය.


අශේන් බණ්ඩාර පොලිස් ක්‍රීඩා සමාජ කණ්ඩායමේ අවසන් ක්‍රීඩකයන් 11 අතරට ඇතුළත් නොවූ අතර ධනංජය ද සිල්වාද ටැමිල් යුනියන් කණ්ඩායමට ඇතුළත් නොවීය. ඒ අනුව ඔවුන් දෙදෙනාට මෙවර ආසියානු කුසලාන සංචිතයේ අවස්ථාවක් හිමි වී ඇතැයි උපකල්පනය කළ හැකිය.


එමෙන්ම ජෙෆ්‍රි වැන්ඩසේ, දිල්ෂාන් මධුසංඛ ,අසිත ප්‍රනාන්දු හා ප්‍රවීන් ජයවික්‍රම යන ක්‍රීඩකයන්ද අදින් ආරම්භ වූ අන්තර් සමාජ ක්‍රිකට් පිටියේ ඔවුන්ගේ ක්‍රීඩා සමාජ වල ක්‍රීඩා කරන ක්‍රීඩකයන් 11 දෙනා අතරට ඇතුළත් නොවීය. ඔවුන්ටද මෙවර ආසියානු කුසලාන සංචිතයේ ස්ථානයක් හිමිවීමට ඉඩක් පවතී. ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිවුස් ද අදින් ඇරඹි තුන් දින තරගාවලියේ පළමු තරගය වෙනුවෙන් ක්‍රීඩා කරනු දක්නට නොලැබිනි.

3,678 views0 comments