• Chathura Ramanayake

චන්දිමාල් ,මහීෂ් හා ඕෂධ ශ්‍රී ලංකාව අවමානයෙන් ගලවා ගනී !!!



සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ විය. ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියට අයත් තරගයක් වූ මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රි ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් අද තරගයට ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ක්‍රීඩා නොකළ අතර ඔහු වෙනුවෙන් ඕෂධ ප්‍රනාන්දු කණ්ඩායමට කැදවා තිබුණි.


ශ්‍රී ලංකා ඉනීමේ පළමු කඩුල්ල ලෙසින් නායක දිමුත් කරුණාරත්න එක් ලකුණකට ක්‍රීඩාගාරයට හරවා යවන්නට ශහීන් අෆ්‍රිඩිට හැකිවිය. අනතුරුව දෙවන කඩුල්ලට ඕෂධ ප්‍රනාන්දු හා කුසල් මෙන්ඩිස් අතර ලකුණු 49ක සබදතාවක් ගොඩ නැගුණි. ඕෂධ ප්‍රනාන්දු ලකුණු 35ක් රැස්කොට සිටියදී දවාගැනීමට හසන් අලි සමත් විය. කුසල් මෙන්ඩිස් ලකුණු 21කදී දවාගත් යසීර් ශා ඇන්ජිලෝ මැතිවුස් ලකුණු රැස්කිරීමට පෙරාතුව ක්‍රීඩාගාරයේ අසුගන්වන්නට වගබලාගත්තේය.


දිවා විවේකය වන,විට ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවී ලකුණු 80ක් රැස්කොට සිටියහ. ධනංජය ද සිල්වාගේ ඉනීම ලකුණු 14කට සීමා කරන්නට ශහීන් අෆ්‍රිඩි සමත් වූ අතර නැවතත් ක්‍රියාත්මක වූ ශහීන් දික්වැල්ල ලකුණු 4කට දවාගත්තේ ලකුණු පුවරුව 103ක් ලෙසින් දිස්වන විටදීය. රමේෂ් මෙන්ඩිස් ලකුණු 11ක් රැස්කළ අතර ප්‍රභාත් ජයසූරිය ලකුණු 3කදී අටවන කඩුල්ල ලෙසින් දැවී ගියේය. සිය අන්තය ආරක්ෂා කරගනිමින් පිතිකරණයේ නියැලුණු දිනේෂ් චන්දිමාල් සිය 22වන,අර්ධ ශතකය වාර්තා කළේය.


ඉනීමේ වැඩිම ලකුණු ලාභියා වූ දිනේෂ් චන්දිමාල් පන්දු 115ක් තුළ හතරේ පහර 10ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 76ක් රැස්කොට සිටියදී දවාගැනීමට හසන් අලීට හැකිවිය. මහීෂ් තීක්ෂණ හා කසුන් රාජිත එක්ව අවසන් කඩුල්ලට ලකුණු 45ක් එක් කරන්නට විය. අවසන් කඩුල්ල ලෙසින් ලකුණු 38ක් රැස්කළ මහීෂ් තීක්ෂණ දැවීගියේ ශහීන් අෆ්‍රිඩිගේ සිව්වන කඩුල්ල ලෙසිනි. ඒ අනුව ශ්‍රී ලංකා පළමු ඉනීම ලකුණු 222කදී නිමාවට පත් විය.


පිළිතුරු ලෙසින් සිය පළමු ඉනීම ඇරඹූ පාකිස්තාන කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙසින් ඉමාම් උල් හක් දවාගැනීමට කසුන් රාජිත සමත් විය. පාකිස්තාන ඉනීමේ 15වන පන්දුවාරයේ අවසන් පන්දුවේදී අබ්දුල්ලා ශාෆික් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකරගන්නට ප්‍රභාත් ජයසූරියට හැකිවිය. පාකිස්තාන කණ්ඩායම අද දිනය අවසානයේදී කඩුලු 2ක් දැවී ලකුණු 24ක් රැස්කිරීමට සමත් විය.


ශ්‍රී ලංකා පළමු ඉනීම - 222/10 (66.1)

දිනේෂ් චන්දිමාල් 76(115), මහීෂ් තීක්ෂණ 38(65), ඕෂධ ප්‍රනාන්දු 35(49)

ශහීන් අෆ්‍රිඩි 4/58, හසන් අලී 2/23, යසීර් ශා 2/66


පාකිස්තාන පළමු ඉනීම - 24/2 (18)

අබ්දුල්ලා ශාෆික් 13(47)

ප්‍රභාත් ජයසූරිය 1/2 , කසුන් රාජිත 1/11



0 views0 comments