• Shaminda Jayarathne

ගුවන් හමුදා පසුබිමකින් එන මට, ඇඟිල්ලක් කැඩුණත් ගානක් නෑ! මම සටන්කාමියෙක්

සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩාවට මේ දිනවල නව වීරයෙක් බිහි වී තිබෙනවා. ඔහු නමින් සිකන්දර් රාසා. සිම්බාබ්වේ ක්‍රිකට් නැවතත් අළු ගසා නැගිටින බවට ඉඟි පළ කරමින් ඔවුන් 2012 වර්ෂයෙන් අනතුරුව විස්සයි විස්ස ලෝක කුසලානයකට සුදුසුකම් ලබා ගත්තා.


ඉන් අනතුරුව බංග්ලාදේශය සමගින් පැවති විස්සයි විස්ස තරඟාවලිය 2-1ක් වශයෙන් ජයග්‍රහණය කිරීමටද සිම්බාබ්වේ ට හැකි වුණා. එතනින් නොනවතින සිම්බාබ්වේ කණ්ඩායම බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරඟාවලිය තවත් තරඟයක් ඉතිරිව තිබියදීම ජයග්‍රහණය කළා. ඒ ඊයේ පැවති දෙවන තරඟයද ජයග්‍රහණය කරමින්.


සිම්බාබ්වේ ක්‍රිකට් මෙලෙස නැවතත් දස්කම් දක්වද්දී එයට බොහෝ සෙයින් වැදගත් වූ සාධකයක් ලෙසට රාසාව හැඳින්විය හැකියි. රාසා දෙරට අතර පැවති පළමු එක්දින තරඟයේදී පන්දු යැවීමෙන් ලකුණු 48 කට එක් කඩුල්ලක් සහ පිතිකරණයේදී නොදැවී ලකුණු 135ක් ලබා ගනිමින් දස්කම් දැක්වූවා. ඉන් නොනවතින ඔහු ඊයේ දිනයේදී පන්දුවෙන් කඩුලු 3ක් සහ පිත්තෙන් නොදැවී ලකුණු 117ක් ලබා ගනිමින් සිම්බාබ්වේ ජයග්‍රහණයට මග පෑදුවා.


පිට පිටම නොදැවුණ ශතක දෙකකින් බංග්ලාදේශයට පහර දුන් ඔහු මේ වන විට එරට ජනප්‍රියම චරිතයක් බවට පත් වී අවසන්. නමුත් සිකන්දර් රාසා යනු උපතින් පාකිස්තානු ජාතිකයෙක් වීම විශේෂත්වයක්. ඔහු පාකිස්තානයේ සිටි කාලයේදී වසර 3 1/2 ක පමණ කාලයක ගුවන් හමුදා පුහුණුවකට එක්ව තිබෙනවා. එම පුහුණුව තමන්ගේ ක්‍රිකට් දිවියට බලපෑ අන්දම පිළිබඳව ඔහු මෙලෙස අදහස් දක්වා තිබුණා.


"ගුවන් හමුදා පසුබිමක සිට ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ලැබීම මට විශාල ශක්තියක්. මම පන්දුව ඇඟේ වැදුණත්, ඒවා අතිශය වේදනාකාරී වුණත්, කොටින්ම මගේ ඇඟිලි කැඩී ගියත් ගණන් ගන්නේ නෑ."


"මම විශ්වාස කරනවා පාකිස්තාන ගුවන් හමුදාව තුළ මම වසර 3 1/2ක් තිස්සේ ලැබූ පුහුණුව මට සෑහෙන වැදගත් වුණා කියලා. අවාසනාවකට මට ප්‍රහාරක ගුවන් නියමුවෙක් වෙන්න බැරි වුණා. ඒත් ජීවිතයේදී මම සැබෑ සටන්කාමියෙක්."

32 views0 comments