• Shaminda Jayarathne

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය අමුතුම වාර්තාවක

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට නම් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය යනු කෙතරම් වටිනා සම්පතක්ද යන්න මනාව හඳුනනවා. වාර්තා ගණනාවක් මෙන්ම සුන්දර මතක සටහන් රාශියක් ද ගාල්ල ක්‍රීඩාංගනය හා බද්ධ වී තිබෙන්නේ ගහට පොත්ත මෙන් කිවහොත් නිවැරදියි. මේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය මේ දිනවලදී තවත් අමුතු වාර්තාවකට තම නම ඇතුළත් කර ගැනීමට සමත්ව තිබෙනවා.


ඒ ටෙස්ට් තරඟ ක්‍රීඩා කරන ක්‍රීඩාංගනයක එකදිගට වැඩිම තරඟ සංඛ්‍යාවක් තීරණයක් සහිතව නිමා වීමේ වාර්තාවයි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ අවසන් වතාවට විසඳුමකින් තොරව (ජය පරාජයෙන් තොරව) ටෙස්ට් තරඟයක් නිමා වී ඇත්තේ 2014 වසරේදී වීම විශේෂත්වයක්. එතැන් පටන් එකදිගට පැවති ටෙස්ට් තරඟ 18ක් තීරණයක් සහිතව නිමා වී තිබෙනවා. මෙම ලැයිස්තුවේ මේ වන විට ගාල්ල ක්‍රීඩාංගනය තෙවන ස්ථානයට පැමිණ ඇති අතර එක දිගට වැඩිම ටෙස්ට් තරඟ සංඛ්‍යාවක් තීරණයක් සහිතව නිමා වූ ක්‍රීඩාංගන වල වාර්තාව පහත පරිදි සටහන් කළ හැකියි.


1. 1882 සිට 1947 දක්වා කාලයේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනය - තරඟ 37


2. 1882 සිට 1937 දක්වා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනය - තරඟ 31


3. 2014 සිට මේ වන තෙක් ශ්‍රී ලංකාවේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය - තරඟ 18


4. 1884 සිට 1937 දක්වා ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගනය - තරඟ 16


5. 1978 සිට 1997 දක්වා බාබඩෝස් හි කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගනය - තරඟ 16


6. 1998 සිට 2013 දක්වා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රීඩාංගනය - තරඟ 16


ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවන ටෙස්ට් තරඟයේ අවසන් දිනයෙන් අනතුරුව මෙම වාර්තාව මෙතනින් අවසන් වේද නැතහොත් තවදුරටත් ඉදිරියට ගමන් කරයිද යන්න ප්‍රේක්ෂකයන් වන අපහට දැකගත හැකි වනු ඇත.

0 views0 comments