• Chathura Ramanayake

ග්‍රේස් පිළ දෙවන තැනට එද්දී දසුන්ගේ පිළ ඉවතට විසිවෙයි.



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ආරාධිත විස්සයි විස්ස තරගාවලියේ මූලික වටයේ අවසන් දිනයේ තරග අද පැවැත්විණි. අද දිනයේදී පැවති තීරණාත්මක පළමු තරගය වෙනුවෙන් දසුන් ශානක ප්‍රමුඛ SLC Greens කණ්ඩායම සමගින් තරග වැදුනේ අශාන් ප්‍රියංජන් ප්‍රමුඛ SLC Greys කණ්ඩායමයි.


තරගයේ කාසියේ වාසිය හිමිකරගත් දසුන් ශානක පළමුව ප්‍රතිවාදීන්ට පිතිකරණයට ආරාධනා කළේය. ඒ අවසරයෙන් පිටියට පිවිසෙන Greys කණ්ඩායම හොද ලකුණු පුවරුවක් නිර්මාණය කරන්නට විය. ආරම්භක පිතිකරු යුගලය වූ කසුන් විදුර හා තානුක දාබරේ පන්දු 70කදී ලකුණු 119ක සාර්ථක සබදතාවක් ගොඩනගන්නට විය. ආරම්භක පිතිකරු තානුක දාබරේ පන්දු 40කදී හතරේ පහර 8ක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 66ක් රැස්කොට සමත් විය. කසුන් විදුර හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 36ක් රැස්කළේය.


මිනෝද් භානුකද ලකුණු 20කින් Greys ඉනීම සවිමත් කළේය. ප්‍රතිවාදී ග්‍රීන් පන්දු යවන්නන් ග්‍රේස් ඉනීමට අතිරේක ලකුණු 22ක් එක් කරන්නට විය. නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 166ක් රැස්කිරීමට Greys ක්‍රීඩකයන්ට හැකිවිය. එය මෙතෙක් තරගාවලියේ කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු ගණනයි.


ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන Greens කණ්ඩායමේ පිතිකරණය අද දිනයේදීද දුර්වල මට්ටමක පැවතුණි. මුල් පෙල පිතිකරුවන් තිදෙනා හැර අන් කිසිදු පිතිකරුවකුට ලකුණු 10 සීමාව ඉක්මවන්නට Greys පන්දු යවන්නන් ඉඩ නොතැබූහ. ඉනීමේ වැඩිම ලකුණු ලාභීන් වූ නිරෝෂන් දික්වැල්ල හා දිනේෂ් චන්දිමාල් පිළිවෙලින් ලකුණු 27ක් හා 24 බැගින් රැස්කළහ.


පන්දුවාර 15 පන්දු 5ක් අවසානයේදී Greens කණ්ඩායම කඩුලු 9ක් දැවී රැස්කළේ ලකුණු 85ක් පමණි. ඒ අනුව මෙම තරගය ලකුණු 81කින් ජයගත් ග්‍රේස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන තැනට පත්විය. පන්දු යැවීමේදී ග්‍රේස් කණ්ඩායම වෙනුවෙන් පුලින තරංග හා මුදිත ලක්ෂාන් කඩුලු 3ක් බැගින් දවාගැනීමට සමත් වද්දී අශාන් ප්‍රියංජන්ද කඩුලු 2ක් දවාගැනීමට සමත් විය.තරගයේ වීරයා ලෙසින් තානුක දාබරේ සම්මාන ලැබීය.


Greys ඉනීම : පන්දුවාර 20 කදී කඩුලු 7 ට ලකුණු 166  

තානුක දාබරේ 66, කසුන් විදුර 36, මිනෝද් භානුක 20, තරිදු රත්නායක 13

ලක්ෂාන් සඳකැන් 14/2, දසුන් හානක 20/2


Greens ඉනීම : පන්දුවාර 15.1 කදී සියලු දෙනා දැවී ලකුණු 85

පැතුම් නිස්සංක 15, නිරෝෂන් දික්වැල්ල 27, දිනේෂ් චන්දිමාල් 24

පුලින තරංග 12/3, මුදිත ලක්ෂාන් 17/3, අශාන් ප්‍රියන්ජන් 11/2


382 views0 comments