• Shaminda Jayarathne

ගැටුම් මධ්‍යයේ රියාල් මැඩ්රීඩ් පරදවමින් බාසිලෝනා ජය ලබයි!

2022/23 නව පාපන්දු තරඟවාරය ආරම්භ වීමට මත්තෙන් යුරෝපයේ ප්‍රධාන පෙළේ පාපන්දු ක්‍රීඩා සමාජ කිහිපයක් ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරතව සිටිනවා. ස්පාඤ්ඤයේ ප්‍රභලතම පාපන්දු ක්‍රීඩා සමාජ දෙක මෙන්ම ලොව ජනප්‍රියතම කණ්ඩායම් අතරේ ඉහළින්ම වැජඹෙන බාසිලෝනා සහ රියාල් මැඩ්රීඩ් ද මේ සංචාරයට එක් වුණා.


ඒ යටතේ පසුගියදා ඉන්ටර් මයාමි පරාජයට පත් කරමින් බාසිලෝනා කණ්ඩායම ගෝල 6-0 ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගත්තා. අද දිනයේදී තම ඇමරිකානු සංචාරයේ දෙවන තරඟය සහ රියාල් මැඩ්රීඩ් කණ්ඩායමේ පළමු තරඟය වශයෙන් බාසිලෝනා සහ රියාල් මැඩ්රීඩ් සුහද තරඟයකට සහභාගී වුණා. El Clasico නමින් හැඳින්වෙන ලොව ජනප්‍රියතම පාපන්දු තරඟය වන මෙය කිසි ලෙසකින්වත් ආරම්භයේ පටන්ම සුහද තරඟයක් ලෙසින් පෙනුනේ නෑ.


කරට කර තරඟ වැදුණු දෙපිළේ මුල්ම ගෝලය 26 වන විනාඩියේදී බාසිලෝනා සමගින් මෙවර ගිම්හාන ක්‍රීඩක හුවමාරුවේදී එක් වූ බ්‍රසීල ජාතික Raphinha විසින් රැස් කළා. එම ගෝලයෙන් පසුව 1-0 ක් ලෙසින් තරඟයේ පෙරමුණට බාසිලෝනා කණ්ඩායම පැමිණියා. කෙසේ වෙතත් පළමු අර්ධය අවසන් වීමට මොහොතකට පෙර ක්‍රීඩකයන් අතරේ යම්කිසි ගැටුම්කාරී තත්ත්වයන්ද ඇතිවනු දක්නට ලැබුණා. El Clasico තරඟ වලදී අඩුවක් නොවන ගැටුම් සුහද තරඟ වලදීත් දකින්නට ලැබෙන්නේ දෙපිළේ තරඟකාරිත්වය මනාවට පැහැදිලි කරමින්.


පළමු අර්ධය 1-0 ලෙස අවසන් වූ අතරම දෙවන අර්ධයේදීත් කණ්ඩායම් දෙකටම අවස්ථා හිමි වුණත් ඒවා ගෝල බවට පරිවර්තනය කර ගැනීමට හැකියාව ලැබුණේ නෑ. මේ නිසාවෙන් තරඟයේ නියමිත මිනිත්තු 90 ලාස් වේගාස් හීදි අවසන් වන්නේ ගෝල 1-0 ක් ලෙසින් බාසිලෝනා ජයග්‍රහණය තහවුරු කරමින්. දෙපිළ අතර ඉතිහාසයේ පැවති 34 වන සුහද පාපන්දු තරඟය මෙය වන අතර බාසිලෝනා එම තරඟ වලදී ලබාගත් 20 වන ජයග්‍රහණය ලෙසින්ද මෙම තරඟය සටහන් කළ හැකියි.

27 views0 comments