• Chathura Ramanayake

කුසල් - වනිඳු සුසංයෝගය ආර් ප්‍රේමදාස පිටිය දෙවනත් කරයි.



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ආරාධිත විස්සයි විස්ස තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය අද රාත්‍රියේදී පැවැත්විණි. කුසල් මෙන්ඩිස් ප්‍රමුඛ SLC Reds කණ්ඩායමට අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට අතිශය වැදගත් වූ මෙම තරගයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ චරිත් අසලංක ප්‍රමුඛ SLC Blues කණ්ඩායමයි. තරගයේ කාසියේ වාසිය හිමිකරගත් Reds කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.


ඒ අනුව ඉනීම අරඹමින් පිටියට පිවිසෙන Reds කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලසිත් ක්‍රෝස්පුල්ලේ ලකුණු 3කදී දැවී ගියේය භානුක රාජපක්ෂ ලකුණු 14ක් රැස්කොට සිටියදී දවාගැනීමට සුමින්ද ලක්ෂාන්ට හැකිවිය. එම පන්දුවාරයේදීම කමිදු මෙන්ඩිස් ලකුණු නොලබා ක්‍රීඩාගාරයට හරවා යවන්නට නැවතත් ක්‍රියාත්මක වූ සුමින්ද ලක්ෂාන්ට හැකි විය. ඒ වන විට Reds ඉනිම කඩුලු 3කට ලකුණු 53ක් ලෙසින් දිස්විය.


අනතුරුව පිටියට පිවිසෙන වනිදු හසරංග, නායක කුසල් මෙන්ඩිස් සමගින් එක්ව විශිෂ්ඨ පිතිහරඹයක නිරත වන්නට විය. ඔවුන් දෙදෙනා එක්ව සිව්වන කඩුල්ලට ලකුණු 125ක විශිෂ්ඨ සබදතාවක් ගොඩනගන්නට විය. ඉනීමේ අවසන් පන්දුවේදී නායක කුසල් මෙන්ඩිස් දවාගැනීමට චාමික කරුණාරත්නට හැකිවිය. නායකත්වයේ විශිෂ්ඨ ඉනීමක් ක්‍රීඩා කල කුසල් මෙන්ඩිස් පන්දු 60කදී හතරේ පහර 10ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 86ක් රැස්කළේය.


මෙන්ඩිස්ගේ ඉනීම මෙවර තරගාවලියේ වාර්තා වූ ඉහළම ලකුණු ඉනීමද බවට පත්විය. අනෙක් අන්තයේ විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ වනිදු හසරංග ප්‍රේමදාස පිටිය පුරාවට හතරේ පහර 3ක් හා හයේ පහර 5ක් සමගින් පන්දු 41ක් තුළ නොදැවී ලකුණු 69ක් රැස්කිරීමට සමත් විය. ඒ අනුව නියමිත පන්දුවාර විස්ස අවසානයේදී මෙවර තරගාවලියේ කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු පුවරුව වාර්තා කරමින් කඩුලු 4කට ලකුණු 178ක් රැස්කිරීමට Reds ක්‍රීඩකයන්ට හැකිවිය.


ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන Blues කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු රැස්කිරීමට පෙරාතුව දවාගැනීමට මහීෂ් තීක්ෂණ සමත් විය. අනතුරුව ලහිරු උදාර හා සදීර සමරවික්‍රම දෙවන කඩුල්ලට ලකුණු 59ක් එක්කරන්නට විය. ලහිරු උදාර ලකුණු 35කටත් සදීර සමරවික්‍රම ලකුණු 40කටත් දවාගැනීමට වනිදු හසරංගට හැකිවිය. නායක ධනංජය සිල්වාට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 15ක් පමණි.


අද දිනයේදීද Blues මැදපෙළ වගකීම කරට ගත් අශේන් බණ්ඩාර පන්දු 27කදී ලකුණු 30ක් රැස්කළද ජයග්‍රහණය වෙනුවෙන් එය ප්‍රමාණවත් නොවීය. නියමිත පන්දුවාර විස්ස අවසානයේදී Blues කණ්ඩායමට කඩුලු 6ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 145ක් පමණි. ඒ අනුව මෙම තරගය ජයග්‍රහණය කළ SLC Reds කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය. පන්දු යැවීමේදී වනිදු හා අසිත කඩුලු 2 බැගින් බිදහෙලීය.


Reds කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 3 ට ලකුණු 178

කුසල් මෙන්ඩිස් 86, වනිඳු හසරංග *69, භානුක රාජපක්ෂ 14

සුමින්ද ලක්ෂාන් 29/2


Blues කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 145

සදීර සමරවික්‍රම 40, ළහිරු උදාර 35, ධනංජය ද සිල්වා 15, අෂේන් බණ්ඩාර 30

අසිත ප්‍රනාන්දු 25/2, වනිදු හසරංග 18/2

2,212 views0 comments