• Shaminda Jayarathne

කුසල් මෙන්ඩිස් ආසියානු කුසලානයේ ආරම්භක පිතිකරු විය යුතුද?

මෑත කාලීනව ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ කුසල් මෙන්ඩිස් යන නාමය හැඳින්වුණේ නව බලාපොරොත්තුවක් ලෙසටයි. අසාර්ථක තරඟ සමයකින් පසුව මෙන්ඩිස් තමන්ගේ රිද්මය සොයා ගනිමින් සිටින බව මේ වන විට පෙනෙන්නට තිබෙනවා. ඔහුට විස්සයි විස්ස පිටියේ පිතිකරණයේ යෙදෙන්නට සුදුසුම ස්ථානය කුමක්ද යන්න පිළිබඳව මෑත කාලීනව විශාල කතා බහක් නිර්මාණය වී ඇති ආකාරයද දක්නට ලැබුණා.


සත්‍ය වශයෙන්ම තමන්ගේ විස්සයි විස්ස ක්‍රිකට් දිවියේදී මෙන්ඩිස් ක්‍රීඩා කළ ඉනිම් වලින් වඩාත්ම සාර්ථක වී ඇත්තේ කුමන ස්ථානයේද යන්න දත්ත වාර්තා අධ්‍යනය කිරීම මගින් හඳුනාගත හැකියි. මෙන්ඩිස් ආරම්භක පිතිකරුවා භූමිකාවෙන් පිටත ක්‍රීඩා කොට ඇති තරඟ සංඛ්‍යාව 21ක්.


මෙම තරඟ 21 තුළදී ඔහු ලකුණු 236ක් වාර්තා කරගෙන තිබෙනවා. එහි සාමාන්‍ය සටහන් වන්නේ 11.24 ක් වශයෙනුයි. ඒ වගේම පන්දුවට පහර දීමේ වේගය 98.75 ක අගයක් ගන්නවා. එය විස්සයි විස්ස රටාව තුළ කිසිසේත්ම සෑහීමකට පත් විය නොහැකි දත්ත වාර්තාවක් ලෙසින් හැඳින්වීම නිවැරදියි.


දෙවනුවට ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟ වල ආරම්භක පිතිකරුවෙක් ලෙසින් තරඟ 14ක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් එහිදී රැස්කරගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 447ක්. එහි ඉනිමක සාමාන්‍ය 34.38 ක අගයක් ගන්නවා. ඒ වගේම පන්දුවට පහර දීමේ වේගයත් 138.39 ක ඉහළ අගයක රඳවා ගැනීමට ඔහු සමත්ව තිබෙනවා.


මේ නිසාවෙන් විස්සයි විස්ස තරඟ ආකෘතිය තුළ කුසල් මෙන්ඩිස් යනු ආරම්භක පිතිකරුවෙක් ලෙසින් ඉතා හොඳ මට්ටමේ දත්ත පෙන්නුම් කරන පිතිකරුවෙක්. නමුත් වර්තමාන කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා යන ස්ථානය ඔහුට හිමි වේද යන්න සැකයක් පවතිනවා.

කෙසේ වෙතත් කුසල් මෙන්ඩිස් ගෙන් උපරිමය ලබා ගැනීමට නම් ඔබ සිතන ආකාරයට කණ්ඩායමේ වෙනසක් කොට ඔහුව ආරම්භක පිතිකරු කිරීම තුළින් හැකියාව ලැබෙයිද? නැතිනම් කණ්ඩායම මේ මොහොතේදී වෙනස්කමකට භාජනය කිරීම ගැටලුවක් වේවිද?

504 views0 comments