• Shahan Fernando

කුසල් බලයෙන් ජයග්‍රහණයේ දසුන් අසිතට.

2022 ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වුණු දෙවන තරඟය මීට සුළු මොහොතකට පෙර අවසන් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට උද්වේගකර ජයග්‍රහණයක් උරුමකර දෙමින්.


Image source - ESPN CricInfo


බංග්ලාදේශය ශ්‍රී ලංකාවත් අතර මූලික වටයේ B කාණ්ඩයේ තරඟයක් ලෙසින් පැවති මෙම තරඟය දෙපිලටම තීරණාත්මක තරඟයක් බවට පත්වුණා. මෙම තරගය ජයග්‍රහණය කරන කණ්ඩායම සුපිරි හතර දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමත් පරාජයට පත්වන කණ්ඩායම තරගාවලියෙන් ඉවත් වීමත් ඒ සඳහා හේතු වුණා.


එමෙන්ම ඇෆ්ගනිස්ථාන තරඟය පරාජයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නායක දසුන් විසින් සිදුකල ප්‍රකාශයක් නිසාද තරගය තවත් තීව්‍ර වුණා. බංගලාදේශ පන්දු යැවීමේ බලඇණිය එතරම් ශක්තිමත් නොවීම නිසා ඔවුන්ට එරෙහිව පහසුවෙන් ජයග්‍රහණය කළ හැකි බවයි ඔහු පවසා සිටියේ.


ඔහුගේ ප්‍රකාශයට ප්‍රතිඋත්තර ලබාදුන් බංගලාදේශ ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියේ තමන් සතුව ශකීබ් සහ මුස්තවිසූර් යන ලෝක මට්ටමේ පන්දු යවන්නන් දෙදෙනා සිටින නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම තුළ කිසිදු ලෝක මට්ටමේ පන්දු යවන්නකු නොසිටින බවයි.


මෙවන් පසුබිමක් සහිතව ආරම්භ වුණු ශ්‍රී ලංකා බංග්ලාදේශ 2020 ගැටුමේ කාසියේ වාසිය ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. පළමු තරඟයට ක්‍රීඩා කළ මතීෂ පතර නේ වෙනුවට අසිත ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවමින් ශ්‍රී ලංකා නායක දසුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.


සාර්ථක ආරම්භයක් ලබා ගත් බංග්ලාදේශ කණ්ඩායම පළමු පන්දුව අර හය තුළ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 54ක් ලබාගෙන ශක්තිමත් පසුබිමක පසුවුණා. පවර් ප්ලේ අවස්ථාව තුළ සිය බංගලා විස්සයි විස්ස කඩුල්ල ලෙස ශබිර් රෙහෙමාන් දාවා දවාගැනීමට අසිත ප්‍රනාන්දු සමත් වුවත් මෙහෙදී හසන් ගේ වේගවත් ඉණිමක් දියත් කරමින් පන්දු 26ක් තුළ ලකුණු 38ක වේගවත් ආරම්භයක් බංගලාදේශ ඉනිමට ලබා දුන්නා.


වනිදු ගේ පන්දුවක් හමුවේ මෙහිදී දැවී යද්දී ඉන් අනතුරුව පිටියට පිවිසි මුෂ්ෆිකර් රහීම්ටද එතරම වේලා කඩුල්ලේ රැඳී සිටීමට චාමික කරුණාරත්න ඉඩ ලබාදුන්නේ නෑ. 63/3 (8) ලෙස ලකුණු පුවරුව සටහන්ව දීපු බංගලාදේශ ඉනිමට ප්‍රහාරාත්මක ජවයක් ගෙන ඒමට ශකිබ් උත්සාහ කළත්, පන්දු 22ක් තුළ ලකුණු 24 ක් පමණක් ලබාගෙන සිටි ඔහුවද දවා ගැනීමට මහේෂ් තීක්ෂණ සමත් වුණා.


බංගලාදේශ ඉණිම පන්දුවාර 10.3 ක් තුළ ලකුණු 87ට කඩුලු 4 ක් ලෙස සටහන් වෙද්දී පිටියේ එක්වුණු මොහොමදුල්ලා සහ ආෆිෆ් හොසෙන් පස්වන කඩුල්ලට ලකුණු 57ක වේගවත් සබඳතාවක් එක් කිරීමට සමත් වුණා.


ආෆිෆ් පන්දු 22ක් තුළ වේගවත් ලකුණු 39ක් රැස් කර සිටියදී ඩිල්ෂාන් මධුශංක ගේ පන්දුවක් හමුවේ දැවී ගියා. ඒ වන විට ලකුණු පුවරුව පන්දුවාර 16 පන්දු 4ක් තුළ ලකුණු 144ට කඩුලු 5ක් ලෙස දිස්වුණා.


ඉන් අනතුරුව අවසන් පන්දුවාර 3 තුළ තවත් ලකුණු 39ක් ඉනිමට එක් කළ බංග්ලාදේශය ලකුණු 183ක දැවැන්ත ලකුණු පුවරුවක් ශ්‍රී ලංකාව ඉදිරියේ තැබීමට සමත් වුණා.


පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක සබඳතාවට ලකුණු 45ක් එක් කිරීමට කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක සමත් වුණා. පන්දු 19 කින් ලකුණු විස්සක් රැස්කර සිටි නිස්සංක ඉබාදත් හොසේන් ගේ පන්දුවක් හමුවේ දැවියද්දි, නැවත වතාවක් අසාර්ථක උන චරිත් අසලංක එක් ලකුණකට දැවී ගියා.


ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිස්වුනේ පන්දුවාර හයක් තුළ ලකුණු 48ට කඩුළු 2ක් ලෙසින්. කුසල් මෙන්ඩිස් නොදැවී එක් අන්තයක් රැකගෙන ක්‍රීඩා කළ අතර ඉන් අනතුරුව පිටියට පිවිසි ධනුෂ්ක ගුණතිලක සහ භානුක රාජපක්ෂ යන පිතිකරුවන් දෙදෙනාටම එතරම් වෙලා කඩුල්ලේ රැඳී සිටීමට හැකියාව ලැබුණේ නැහැ.


ධනුක්ෂ පන්දු 6ක් තුළ 11ක් ද, භානුක පන්දු 4ක් තුළ ලකුණු 2ක් ද ලබා පිටියෙන් ඉවත් වද්දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 77/4ක් ලෙස අසීරු අවධියක පසුවුණා.


ඉන් අනතුරුව පිටියේ එක්වුණේ කුසල් මෙන්ඩිස් සහ නායක දසුන් ශානකයි. ශ්‍රී ලංකාවේ ජයග්‍රාහි මාවතකට කැඳවාගෙන ආ කුසල් සහ දසුන් ලකුණු 54 ක වේගවත් සබඳතාවයක් වාර්තා කිරීමට සමත්වුණා.

අර්ධ ශතකයකින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ගෙන ඒමට දායක වුණු කුසල් මෙන්ඩිස් පන්දු 37කින් ලකුණු 60ක් ලබා ගැනීමට සමත් වුණා. ඔහුගේ ඉනිමට හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් ඇතුළත් වුණා.


කුසල්ගේ දැවී යාමෙන් අනතුරුව ලකුණු පුවරුව සටහන් වුණේ පන්දුවාර 14යි පන්දු 3ක් තුළ ලකුණු 131/5 ලෙසින්. අනතුරුව පිටියට පිවිසි බනදු හසරංග ප්‍රහාරාත්මක ඉනිමක් දියත් කිරීමට උත්සාහ කළ නමුත් ඔහුට එතරම් වෙලා කඩුල්ලේ රැඳී සිටීමට හැකියාව ලැබුනේ නැහැ.


ජයග්‍රාහී බලාපොරොත්තු අත් නොහැර සිය ප්‍රහාරාත්මක ඉනිම දිගටම දෙයක් කළ දසුන් ශානක පන්දු 33කින් ලකුණු 45ක් රැස් කිරීමට සමත්වුණා. ඒ හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින්.

අවාසනාවන්ත ලෙස ජයග්‍රහණයට පන්දු 13ක් ලකුණු 26ක් පමණක් අවශ්‍යව තිබියදී දසුන් ශානක දැවී ගියා.


ඉන් අනතුරුව ජයග්‍රහණයේ වගකීම පැවරුණේ චාමික කරුණාරත්නටයි. පන්දු 10කින් වේගවත් ලකුණු 16ක් රැස් කරමින් චාමික ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයට සමීප කර නමුත් ලකුණු පුවරුව 171ක් වන විට චාමික අවාසනාවන්ත ලෙස දුවද්දී දැවීයාමකට හසුවුණා.


ජයාග්‍රණයට පන්දු 7ක් තුළ ලකුණු 12ක් අවශ්‍ය වී තිබූ පසුබිමක සිය මංගල තරඟයට ක්‍රීඩා කරන වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු පිටියට පිවිසියේ ශ්‍රී ලංකාවට ජයග්‍රහණය අහිමි වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළ මොහොතකයි.


අවශ්‍යම මොහොතේ පිත්ත ක්‍රියාත්මක කළ අසිත පන්දු 3කින් වේගවත් ලකුණු 10ක් රැස් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර රැගෙන ගියේ උද්වේගකර තරඟයක රස පහස ක්‍රිකට් ලෝලීන්ට ලබා දෙමින්.


මෙම ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරඟාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට සමත්වුණා. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය සුපිරි සිව් දෙනාගේ වටයට සුදුසුකම් ලබා තිබෙනවා.


සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරඟය සැප්තැම්බර් මස 3 වන සිකුරාදා දින මෙරට වේලාවෙන් පස්වරු 7: 30ට ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවැත්වෙනු ඇති.


1,575 views0 comments