• Chathura Ramanayake

කෝලි හා බාබර් අභිබවා යන්නට තිබූ අවස්ථාවක් පුජාරාට අහිමි වෙයි !!




ඉන්දීය ක්‍රීඩක චෙටේෂ්වර් පුජාරා පිට පිට දෙවන ශතකය වාර්තා කිරීමට ඊයේ දිනයේදී සමත් විය. ඒ එංගලන්තයේ පැවැත්වෙන රෝයල් ලන්ඩන් කුසලාන එක්දින තරගාවලයේදිය. චෙටේෂ්වර් පුජාරා පසුගිය අගෝස්තු මස 12 වනදා වෝවික්ෂයර් කණ්ඩායමට එරෙහිව පන්දු 79කදී ලකුණු 107ක් රැස්කිරීමට සමත් විය. ඊයේ දිනයේදීද තවත් ශතකයක් වාර්තා කරමින් මෙවර තරගාවලියේදී පිට පිට දෙවන ශතකයත් වාර්තා කිරීමට පුජාරාට හැකිවිය.


චෙටේෂ්වර් පුජාරා ඊයේ දිනයේදී සරේ ප්‍රාන්ත කණ්ඩායම සමගින් පැවති තරගයේදී පන්දු 131ක් තුළ ලකුණු 174ක් රැස්කිරීමට සමත් විය. ඊයේ තරගයේදී චෙටේෂ්වර් පුජාරා පිටියට පිවිසෙන විට සසෙක්ස් ලකුණු පුවරුව පන්දුවාර 3 පන්දු 2ක් අවසානයේදී කඩුලු 2කට ලකුණු 9ක් ලෙසින් දිස්විය. අනතුරුව පුජාරා හා ටොම් ක්ලාක් එක්ව තෙවන කඩුල්ලට ලකුණු 205ක සබදතාවක් ගොඩනගන්නට විය. ටොම් ක්ලාක් ලකුණු 104කට දැවී ගියද පුජාරා සිට ඉනීම ඉදිරියට දියත් කළේය.


පුජාරා සිය ශතකය වාර්තා කළේ පන්දු 103කදීය. අනතුරුව වේගවත් පිතිහරඹයක් දියත් කළ පුජාරා මීළග පන්දු 28 තුළදී ලකුණු 74ක් රැස්කළේය. සසෙක්ස් ඉනීමේ 48වන පන්දුවාරයේදී පුජාරාගේ ඉනීම නිමාවට පත් වන විට පන්දු 131කදී ලකුණු 174ක් රැස්කිරීමට ඔහුට හැකිවිය. පුජාරාගේ ඉනීමට හතරේ පහර 20ක් හා හයේ පහර 5ක් ඇතුළත් විය. මෙම ඉනීම චෙටේෂ්වර් පුජාරාගේ List A කොටසේ තරග වල ඉහළම ලකුණු ඉනීම බවටද පත් විය. අද දිනයේදී දැවී යාමට පෙර ඔහුගේ List A තරග වල පිතිකරණ සාමාන්‍ය 56.60ක් පමණ වූ අතර එය බාබර් අසාම් හා විරාට් කෝලිගේ List A තරග වල පිතිකරණ සාමාන්‍ය ඉක්මවූ අගයකි. නමුත් අවාසනාවන්ත ලෙසින් දැවී යාම හේතුවෙන් කෝලි හා බාබර්ගේ List A තරගයන්හි පිතිකරණ සාමාන්‍ය අභිබවා යන්නට තිබූ අවස්ථාව පුජාරාට අහිමි විය.


සසෙක්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 378ක් රැස්කළහ. ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන සරේ ප්‍රාන්ත කණ්ඩායමට සියලු ක්‍රීඩකයන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 162ක් පමණි. ඒ අනුව ලකුණු 216කින් මෙම තරගය ජයග්‍රහණය කිරීමට සසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම සමත් විය.

1,460 views0 comments