• Chathura Ramanayake

කෝලිට හා ටේලර්ට පමණක් හිමි සියයේ වාර්තාව !!!



ඉන්දීය හිටපු නායක විරාට් කෝලි ඊයේ දිනයේදී තම සියවන විස්සයි විස්ස තරගයට ක්‍රීඩා කළේය. පාකිස්තානය සමගින් පැවති තරගයේදී ඉන්දීය කණ්ඩායම විශිෂ්ඨ ජයක් ලබද්දී ඊට විරාට් කෝලි ලකුණු 35කින් දායක විය. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සියවන විස්සයි විස්ස තරගය ක්‍රීඩා කළ 14 වන ක්‍රීඩකයා බවට පත්වන්නට කෝලිට හැකිවිය.


ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ටෙස්ට් එක්දින හා විස්සයි විස්ස තරග අංශ තුනෙහිම තරග 100ක් ක්‍රීඩා කළ ලොව දෙවන ක්‍රීඩකයා වන්නට විරාට් කෝලිට ඊයේ හැකිවිය. විරාට් කෝලි මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ටෙස්ට් තරග 102ක් එක්දින තරග 262ක් හා විස්සයි විස්ස තරග 100ක් ක්‍රීඩා කොට ඇත.


විරාට් කෝලිට පෙර එක්දින ටෙස්ට් හා විස්සයි විස්ස අංශ තුනෙහිම තරග 100ක් ක්‍රීඩා කොට තිබුණේ නවසීලන්ත ක්‍රීඩක රෝස් ටේලර් පමණි. රෝස් ටේලර් ටෙස්ට් තරග 112, එක්දින තරග 236ක් හා විස්සයි විස්ස තරග 102ක් ක්‍රීඩා කොට ඇත.


ඉන්දීය හිටපු නායක විරාට් කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ එක්දින ලකුණු 12344ක්, ටෙස්ට් ලකුණු 8074ක් හා විස්සයි විස්ස ලකුණු 3343ක් රැස්කොට ඇත. ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ හබායම් වලදී විරාට් කෝලි ලකුණු 1824ක් රැස්කොට ඇති අතර ඔහුගේ පිතිකරණ සාමාන්‍ය ලකුණු 76ක් ලෙසින් සටහන් වෙයි.

516 views0 comments