• Chathura Ramanayake

කාලගුණයේද සහය ඇතිව අයර්ලන්තය විස්සයි විස්ස තරගාවලිය ජයගනී



සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා අයර්ලන්ත කණ්ඩායම අතර තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ඊයේ දිනයේදී නිමාවට පත් වූයේ අයර්ලන්තයට තරගාවලියේ ජය හිමිකර දෙමිනි. පස්වන විස්සයි විස්ස තරගය කණ්ඩායම් ද්විත්වයටම අතිශය තීරණාත්මක වූයේ දෙපිලම එක් තරගය බැගින් ජයගෙන තිබූ නිසාවෙනි. තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්තය පළමුව පන්දු යැවීම තෝරාගත්හ.


ඒ අවසරයෙන් පිටියට පිවිසෙන ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය දෙවන පන්දුවාරය තුළදී ක්‍රීඩාගාරයට හරවා යවන්නට මාර්ක් ඇඩෙයාර්ට හැකිවිය. නැවතත් සිව්වන පන්දුවාරයේදී ක්‍රියාත්මක වූ ඇඩෙයාර් ඊබ්‍රහීම් සද්‍රාන් ලකුණු 8කදී දවාගැනීමට සමත් විය. සිමී සිංග් යොමුකළ ඉනීමේ දසවැනි පන්දුවාරයේදී හතරේ පහර 2ක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 20ක් රැස්කිරීමට උස්මාන් ගානිට හැකිවිය.


ඉනීමේ එකොළොස්වන පන්දුවාරයේ අවසන් පන්දු දෙක තුළදී නජිබුල්ලා සද්‍රාන් හා නායක මොහොමඩ් නබී දවාගැනීමට ජෝෂ් ලිට්ල්ට හැකිවිය. ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 15ක් අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 95ක් රැස්කොට සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය. ඒ වන විට නොදැවී පන්දුවට පහර දෙමින් සිටි උස්මාන් ගානි පන්දු 40කදී ලකුණු 44ක් රැස්කොට තිබුණි.


බොහෝ වේලාවක් වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගය නැවත ආරම්භ කළ පසු අයර්ලන්තයට ජයග්‍රහණය වෙනුවෙන් පන්දුවාර 7කදී ලකුණු 56ක් අවශ්‍ය විය. ලකුණු 4කින් සිය ඉනීම ආරම්භ කළ පෝල් ස්ටර්ලින් අද දිනයේදී ජාත්‍යන්තර විස්සයි විස්ස ලකුණු 3000 සීමාව පසු කරන්නට සමත් විය. නායක ඇන්ඩි බැල්බර්නි ලකුණු 9කදී කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකරගන්නට මොහොමඩ් නබීට හැකිවිය.


පෝල් ස්ටර්ලින් ලකුණු 16ක් හා ලෝකන් ටකර් ලකුණු 14 බැගින් රැස්කළහ. පන්දුවාර 6 පන්දු 4කදී කඩුලු 3ක් පමණක් දැවී තරගය ජයග්‍රහණය කිරීමට අයර්ලන්තයට හැකිවිය. ඒ අනුව තරගාවලියේ ජයග්‍රහණය තරග 3-2ක් ලෙසින් අයර්ලන්තයට හිමිවිය. තරගයේ වීරයා ලෙසින් මාර්ක් ඇඩෙයාර්ද තරගාවලියේ වීරයා ලෙසින් ජෝර්ජ් ඩොක්‍රෙල් ද සම්මානයට පාත්‍ර විය.


AFGHANISTAN - 95/5(15 Overs)

Usman Ghani *44 (40), Azmatullah Omarzai *15 (14)

Mark Adair 3/16 (2), Josh Little 2/14 (3)


IRELAND - 56/3(6.4 Overs)

Paul Stirling 16 (10), Lorcan Tucker 14 (12)

Mujeeb Ur Rahman 2/17 (2), Rashid Khan 1/17 (2)

375 views0 comments