• Shaminda Jayarathne

ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු ලැබූ වේග පන්දු යවන්නා බවට ජේම්ස් ඇන්ඩර්සන් පත් වෙයි.

වසර 100 කට අධික ඉතිහාසයක් හිමි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් වේග පන්දු යවන්නා ලෙසින් නව වාර්තාවක් තැබීමට එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් හට පසුගියදා හැකියාව ලැබුණා. ඒ දකුණු අප්‍රිකාවත් සමග පැවති දෙවන ටෙස්ට් තරඟයේ දෙවන ඉනිමේ කඩුලු 3ක් දවා ගැනීමත් සමගයි.


මේත් සමගම ඇන්ඩර්සන් කඩුලු 950 සීමාව ඉක්මවා ගිය පළමු වේග පන්දු යවන්නා ලෙසින් සටහන් වීමද විශේෂත්වයක්. ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වේග පන්දු යවන්නන් අතරින් ඔවුන් ටෙස්ට් එක්දින සහ විස්සයි විස්ස යන අංශ තුනෙන්ම දවාගත් කඩුලු එකතු කිරීමෙන් මෙම කඩුලු සටහන නිර්මාණය කොට තිබෙනවා.

ඇන්ඩර්සන් ට පෙර මෙම වාර්තාවට හිමිකම් කියා සිටි හිටපු ඕස්ට්‍රේලියා වේග පන්දු යවන ක්‍රීඩක ග්ලෙන් මැග්‍රාත් ලබාගෙන සිටි කඩුලු සංඛ්‍යාව 949ක්. එම වාර්තාව තමන් සතු කරගත් ජේම්ස් ඇන්ඩර්සන් මේ වන විට කඩුලු 951ක් දවාගෙන සිටිනවා. මීට අමතරව කඩුලු 916ක් ලැබූ වසීම් අක්‍රම්, කඩුලු 829ක් ලැබූ ශෝන් පොලොක් සහ කඩුලු 802ක් ලැබූ ස්ටුවර්ට් බ්‍රෝඩ් පිළිවෙලින් මෙම ලැයිස්තුවේ තෙවන සිව්වන සහ පස්වන ස්ථාන දිනාගෙන සිටිනවා.

1,516 views0 comments