• Shaminda Jayarathne

කාන්තා යුරෝ ශූරියන් එංගලන්තය!

මාසයක පමණ කාලයක් පුරාවට ක්‍රියාත්මක වූ කාන්තා යුරෝ කුසලාන පාපන්දු තරඟාවලිය ඊයේ දින නිමාව දුටුවේ එංගලන්තය ශූරියන් බවට පත් කරමින්. මෙම තරඟය නැරඹීමට ඉතිහාසයේ වාර්තාගත ලෙසට 87 000 කට අධික ප්‍රේක්ෂක පිරිසක් පැමිණීමද විශේෂ කාරණයක් බවට පත් වුණා.


අවසන් පූර්ව වට වලදී ස්වීඩනය පරාජයට පත් කළ එංගලන්තයත්, ප්‍රංශය පරාජයට පත් කළ ජර්මනියත් අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා තිබුණා. ජර්මනිය සහ එංගලන්තය යනු ඉතිහාසගත පාපන්දු එදිරිවාදීම් වීම මෙම තරඟය තවත් උණුසුම් කළා. තරඟයේ පළමු අර්ධය නිමාව දකින්නේ ගෝල 0-0 ලෙසින් දෙපිළම සම මට්ටමේ තබමින්.


නමුත් දෙවන අර්ධයේදී වඩාත් ආක්‍රමණශීලී ලෙසින් පිටියට පිවිසි එංගලන්තය වෙනුවෙන් එලා ටූනේ විසින් 61 වන විනාඩියේදී ගෝලයක් වාර්තා කර සිටිනවා. මෙම ගෝලයත් සමගින් එංගලන්තය ගෝල 1-0 ක් ලෙස තරඟයේ පෙරමුණට පැමිණියා. නමුත් තවමත් තමන් තරඟය අතනොහැරි බව පෙන්වූ ජර්මානු ක්‍රීඩිකාවන් 79 වන විනාඩියේදී ගෝලයක් වාර්තා කරමින් තරඟය සම කිරීමට සමත් වුණා. ගෝලයේ හිමිකාරිනිය වූයේ ලීනා මැගුල්.


ඒ අනුව තරඟයේ සමස්ථ විනාඩි 90 ක කාලය නිමාව දකින්නේ ගෝල 1-1 වශයෙන් සම මට්ටමෙන්. මේ නිසාවෙන් අතිරේක විනාඩි 30 ක කාලයක් කරා ගමන් කිරීමට විනිසුරුවන් තීරණය කළා. එම අතිරේක කාලයේදී ක්‍රියාත්මක වූ එංගලන්තය ක්‍රීඩිකා ක්ලෝ කෙලී ජයග්‍රාහී ගෝලය තම මවුබිම වෙනුවෙන් තිළිණ කළා. ඇය 110 වන විනාඩියේදී ලබාගත් ගෝලයට පිළිතුරු ලබා දීමට ජර්මනියට හැකි වුණේ නෑ.


ජයග්‍රහණය සමරන එංගලන්ත ක්‍රීඩිකාවෝ

ඡායාරූපය - www.aljazeera.com


ඒ අනුව ගෝල 2-1ක් ලෙසින් සුපිරි තරඟයකින් පසුව ඓතිහාසික ජයග්‍රහණයක් ලබා 2022 කාන්තා යුරෝ ශූරතාවය දිනා ගැනීමට එංගලන්තයට හැකි වුණා. 2021 වසරේ පැවති පිරිමි යුරෝ කුසලානයේ අනුශූරතාවයෙන් සෑහීමකට පත් වීමට එංගලන්තයට සිදු වුවද මෙවර කාන්තා යුරෝ ශූරතාවය දිනා ගැනීම එරට පාපන්දුවට විශාල ජයග්‍රහණයක් බව එංගලන්ත මාධ්‍යය ඊයේ දින සිටම වාර්තා කරමින් සිටිනවා.

45 views0 comments