• Chathura Ramanayake

කොදෙව් ක්‍රීඩකයන් දෙදෙනෙකු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි !!!


කොදෙව් කණ්ඩායම නියෝජනය කළ ආරම්භක පිතිකරුවකු වූ ලෙන්ඩල් සිමන්ස් හා හිටපු නායකයෙකු වූ දිනේෂ් රම්දින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කොට ඇත. ඒ අනුව මෙම ක්‍රීඩකයන් දෙදෙනා කොදෙව් ක්‍රිකට් ආයතනයට ලිපියක් බාර,දෙමින් සිය සමුගැනීම නිවේදනය කොට ඇත.


ලෙන්ඩල් සිමන් 2006 වසරේදී පාකිස්තාන කණ්ඩායමට එරෙහිව සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ඇරඹීය. එතැන් පටන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 8ක් එක්දින හා විස්සයි විස්ස තරග 68 බැගින් ඔහු ක්‍රීඩා කොට ඇත. එහිදී පිළිවෙලින් ටෙස්ට් ලකුණු 278ක් එක්දින ලකුණු 1958ක් හා විස්සයි විස්ස ලකුණු 1527ක් රැස්කිරීමට ලෙන්ඩල් සිමන් සමත් විය.


2016 විස්සයි විස්ස ලෝක ශූර කොදෙව් කණ්ඩායමේ සාමාජිකයකු වූ ලෙන්ඩල් සිමන් අවසන් පූර්ව තරගයේදී පන්දු 51ක් තුළ නොදැවුනු ලකුණු 82ක් රැස්කරමින් කොදෙව් පිළ,අවසන් මහා තරගයට රැගෙන යාමට සමත් විය. 37 වැනි වියෙහි පසුවන ලෙන්ඩල් සිමන් පසුගිය විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියටද ක්‍රීඩා කළේය.


මේ අතර හිටපු බටහිර ඉන්දීය කොදෙව් නායක දිනේෂ් රාම්දින්ද ජාත්‍යන්තර පිටියට සමු දී ඇත. 37 වැනි වියෙහි පසුවන දිනේෂ් රාම්දින් ටෙස්ට් තරග 74ක් එක්දින තරග 139ක් හා විස්සයි විස්ස තරග 71කදී කොදෙව් කණ්ඩායම නියෝජනය කළේය. 2012 හා 2016 විස්සයි විස්ස ලෝක කුසලාන ජයග්‍රහණය කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ කඩුලු රකින්නා බවට පත් වූයේද දිනේෂ් රාම්දින්ය.


දිනේෂ් රාම්දින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ටෙස්ට් ලකුණු 2898ක් එක්දින ලකුණු 2200ක් හා විස්සයි විස්ස ලකුණු 636ක් රැස්කිරීමට සමත් වී ඇත. දිනේෂ් රාම්දින්ගේ නායකත්වය යටතේ බටහිර ඉන්දීය කොදෙව්වන් ටෙස්ට් තරග 13ක් විස්සයි විස්ස තරග 3ක් හා එක් එක්දින තරගයක් ක්‍රීඩා කොට ඇත. මෙම තරග අතුරින් සිය නායකත්වය යටතේ තරග 6ක් ජයග්‍රහණය කරා මෙහෙයවන්නට රාම්දින්‍ට හැකිවිය.

50 views0 comments