• Shaminda Jayarathne

කාගිසෝ රබාඩා හමුවේ අසරණ වූ එංගලන්තයට මහරාජ් ගෙන් ප්‍රහාරයක්!

එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය නිමා වන විට තරඟයේ වාසිය තමන්ගේ දෙසට හරවා ගැනීමට දකුණු අප්‍රිකානුවන් සමත්ව සිටියා. පළමු දිනය අවසානයේදී ලකුණු 116-6 ක් ලෙස සිටි එංගලන්තයේ සියලුම ක්‍රීඩකයන් ලකුණු 165ක් තුළ දැවී ගියා.


එංගලන්තය වෙනුවෙන් සාර්ථක වු එකම පිතිකරු බවට පත් වුණ ඔලී පෝප් පන්දු 102 කදී හතරේ පහර 5ක් ද සමගින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 73ක්. දකුණු අප්‍රිකාව වෙනුවෙන් පන්දු යැවීමේදී කාගිසෝ රබාඩා කඩුලු 5ක් සහ අන්රික් නෝකියේ කඩුලු 3ක් බිඳ හෙලුවා.


පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි දකුණු අප්‍රිකාව වෙනුවෙන් නායක ඩීන් එල්ගාර් සහ සරෙල් එර්වේ පළමු කඩුල්ලට ලකුණු 85ක් එක් කළා. එල්ගාර් ලකුණු 47යි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ සරෙල් එර්වේ පන්දු 146 කදී හතරේ පහර 6ක් ද සමගින් ලකුණු 73ක් වාර්තා කළා. විටෙක දකුණු අප්‍රිකානුවන් කඩුලු 210-6 ක් ලෙසින් සිටියත් 7 වන කඩුල්ල සඳහා මාර්කෝ යැන්සෙන් සහ ක්ෂේව් මහරාජ් අගනා සබඳතාවයක් ගොඩනැගුවා.


ඔවුන් දෙපළ 7 වන කඩුල්ලට ලකුණු 72ක් එක් කරද්දී මහරාජ් ලකුණු 41 කට දැවී ගියා. ඊයේ දිනය නිමා වන විට දකුණු අප්‍රිකානුවන් 289-7 ක් වශයෙන් ප්‍රභල තත්ත්වයක පසු වුණේ එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 124ක් ඉදිරියෙන් සිටිමින්. අද තරඟයේ තුන්වන දිනයයි.


තරඟ සාරාංශය


එංගලන්තය පළමු ඉනිම 165-10 (45)

ඔලී පෝප් 73(102), බෙන් ස්ටෝක්ස් 20(30)

කාගිසෝ රබාඩා 52/5, අන්රික් නෝකියේ 63/3


දකුණු අප්‍රිකාව පළමු ඉනිම 289-7 (77)

සරෙල් එර්වේ 73(146), ඩීන් එල්ගාර් 47(81), ක්ෂෙව් මහරාජ් 41(49), මාර්කෝ යැන්සෙන් 41(57)*

බෙන් ස්ටෝක්ස් 53/3, ජැක් ලීච් 42/1

58 views0 comments