• Shahan Fernando

ඕස්ට්‍රේලියාවේ මීළඟ නායකයා වීමට වඩාත් සුදුසු ක්‍රීඩකයා රිකී පොන්ටින් නම්කරයි.


2018 වසරේදී ඕස්ට්‍රේලියානු එක්දින සහ ටෙස්ට් නායකත්වයට දරමින් සිටි ස්ටීවන් ස්මිත් පන්දුව පළුදු කිරීමේ චෝදනාවක් හමුවේ වසර දෙකක තරඟ තහනමකට ලක්වුණා. ඔහුත් සමඟින් ප්‍රබල ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් හටද තරඟ තහනමක් පනවනු ලැබුවා.


ඉන් පසුව එක්දින තරඟ රටාව තුළදී ඕස්ට්‍රේලියානු නායකත්වය හිමිවූයේ ආරම්භක පිතිකරු ආරොන් ෆින්ච් හටයි. සිය එක්දින තරඟ දිවිය තුළදී තරඟ 146කට ක්‍රීඩා කල ෆින්ච් ලකුණු සාමානය 38.89ක රඳවාගනිමින් ශතක 17ක් ද රැස් කිරීමට සමත් වුණා.


2023 එක්දින ලෝක කුසලානයට වසරක පමණ කාලයක් ඉතිරිව පවතින පසුබිමක මීට දින කිහිපයකට පෙර ආරෝන් ෆින්ච් තමන් එක්දින ක්‍රිකට් දිවියට සමුදෙන බව ප්‍රකාශ කළා. ඒ අනුව ෆින්ච් සමුගැනීමත් සමඟින් මීළඟ ඕස්ට්‍රේලියානු එක්දින නායකයා විය යුත්තේ කව්රුන්ද යන මාතෘකාව මේ වන විට කරලියට පැමිණ තිබෙන්නේ ලෝක කුසලානයක් ආසන්නයේ පවතින නිසාවෙන්.





මේ පිළිබඳව අදහස් ප්‍රකාශ කරතිබු හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක රිකී පොන්ටින් මෙවන් අදහසක් පලකර තිබෙනවා.


"ඕස්ට්‍රේලියාවේ මීළඟ එක්දින නායකයා වේගපන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් බවට පත්වේවි. "

"මම දන්නවා ඔහු නිරන්තරයෙන් එක්දින තරඟ ක්‍රීඩා කරන්නේ නෑ. අනෙක් වේගපන්දු යවන්නන් වගේම ඔහුත් ටෙස්ට් සහ එක්දින තරඟ රටා ද්විත්වය සමඟින් එන වැඩ කොටසෙහි බර පාලනය කරගත යුතු නිසා."

"නමුත් මීළඟ නායකයා පැට් කමින්ස් නොවුණහොත් මම පුදුමයට පත් වෙනවා."

යනුවෙන් රිකී රිකී පොන්ටින් සිය අදහස් පළකර සිටියා. එමෙන්ම ෆින්ච් ගෙන් හිස්වන ආරම්භක පිතිකරු භූමිකාව පිළිබඳවත් එයට වෙනත් ක්‍රීඩකයෙක් ආදේශ වීමෙන් පසු පිතිකරණ ලැයිස්තුවේ සිදුවිය හැකි වෙනස්කම් පිළිබඳවත් පොන්ටින් සිය අදහස් ප්‍රකාශ කර තිබුණා.


"ටෙස්ට් තරඟ රටාවේදී අංක තුන පිතිකරු ලෙස ක්‍රීඩා කරන නිසා මානස් ලබුෂෙන් හට අලුත් පන්දුවට එරෙහිව හොඳින් පිතිකරණයේ යෙදෙන්න පුළුවන්. ඒ නිසා ඔහු ආරම්භක පිතිකරු ස්ථානයට ගැලපෙනවා."
" අංක තුන ස්ථානයේ මිචෙල් මාර්ෂ් හොඳින් ක්‍රීඩා කරන නිසා ඔහු එම ස්ථානයට ගැලපෙනවා. මානස් ලබුෂෙන් දැනට ක්‍රීඩා කරන අංක හතර ස්ථානයේ ක්‍රීඩා කරන්න ස්ටීවන් ස්මිත්ට අවස්ථාව තියෙනවා. "

යනුවෙන් ද රිකී පොන්ටින් සිය අදහස් ප්‍රකාශ කර තිබුණා. එමෙන්ම ලෝක කුසලානයට වසරක පමණ කාලයක් ඉතිරිව ඇති නිසා නව නායකයෙක්ට ස්ථාවර වෙන්න අවස්තාව ලබාදෙමින් ඉතාමත් හොඳ තීරණයක් ආරෝන් ෆින්ච් ගෙන ඇති බවත් ඔහු තවදුරටත් පවසා තිබෙනවා.

13,273 views0 comments