• Chathura Ramanayake

ඕස්ට්‍රේලියානු හා බාබඩෝස් කණ්ඩායම් පළමු දිනයේ ජයග්‍රහණ වාර්තා කරයි !!!



පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට පළමු වරට කාන්තා ක්‍රිකට් ඉසව්වක් ඇතුළත් කරනු ලැබීය. ඒ අනුව මෙවර 22වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ඉසව්ව විස්සයි විස්ස ආකෘතිය යටතේ ඊයේ දිනයේදී ආරම්භ විය. ඒ අනුව කණ්ඩායම් 8ක් මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිකට් ඉසව්ව වෙනුවෙන් එක්වන අතර පළමු තරගය වෙනුවෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම තරග වැදුනි.


මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළහ. ඒ අනුව පිටියට පිවිසෙන ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනිය වූ ස්ම්‍රිටි මන්දනා ලකුණු 24කට දැවී ගියේය. ශෆාලි වර්මා ඉන්දීය ලකුණු පුවරුවට තවත් ලකුණු 48ක් එක් කළේ හතරේ පහර 9ක් එල්ල කරමිනි. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නායකත්වයේ ඉනීමක් ක්‍රීඩා කළ හර්මන්ප්‍රීත් කෞර් පන්දු 34ක් තුළ හතරේ පහර 8ක් හා එක් හයේ පහරක් සමගින් අගනා ලකුණු 52ක් රැස්කිරීමට සමත් විය. ඒ අනුව නියමිත පන්දුවාර විස්ස අවසානයේදී ඉන්දීය කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 154ක් රැස්කළහ. පන්දු යැවීමේදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා ජෙස් ජොනසන් ලකුණු 22ට කඩුලු 4ක් බිදහෙලීය.


ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මුල්පෙල කඩුලු ත්‍රිත්වයම ලකුණු 21ක් තුළ බිදවැටුනි. පන්දුවාර 7 පන්දු 2ක් අවසානයේදී ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව කඩුලු 5කට ලකුණු 49ක් ලෙසින් දිස්විය. නමුත් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට ඈෂ්ලීහ් ගාඩ්නර් හා ග්‍රේස් හැරිස් සුවිසල් කාර්‍යභාරයක් ඉටුකළහ. පන්දුවාර 19ක් අවසානයේදී කඩුලු 7ක් දැවී නියමිතය ඉලක්කය හබායාමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ඈෂ්ලීහ් ගාඩ්නර් පන්දු 35කදී හතරේ පහර 9ක් සමගින් නොදැවුනු ලකුණු 52ක් රැස්කළේය. ග්‍රේස් හැරිස් හතරේ පහර 5ක් හා හයේ පහර 2ක් සමගින් වේගවත් ලකුණු 37ක් රැස්කිරීමට සමත් විය. පන්දු යැවීමේදී ඉන්දියාව වෙනුවෙන් රේණුකා සිං කඩුලු 4ක් දවාගැනීමට සමත් විය.


කෙටි ලකුණු පුවරුව

ඉන්දියාව : 154/8

හර්මන්ප්‍රීත් කෞර් 52, ශෆාලි වර්මා 48

ජෙස් ජොනසන් 4/22, මේගන් ශූට් 2/26

ඕස්ට්‍රේලියාව : 157/7

ඈෂ්ලීහ් ගාඩ්නර්* 52, ග්‍රේස් හැරිස් 37

රේණුකා සිං 4/18, දීප්ති ශර්මා 2/24


ඊයේ දිනයට අදාල දෙවන තරගය වෙනුවෙන් බාබඩෝස් කාන්තා කණ්ඩායම සමගින් පාකිස්තාන කාන්තා කණ්ඩායම තරග වැදුනි. තරගයේ කාසියේ වාසිය හිමිකරගත් පාකිස්තානය පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර ඒ අවසරයෙන් පිටියට පිවිසි බාබඩෝස් ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 144ක් රැස්කළහ. බාර්බඩෝස් ඉනීමේ පළමු කඩුල්ල ලකුණු 9කදී දැවීගියද නායිකා හේලි මැතිවුස් හා කයිසියා නයිට් දෙවන කඩුල්ලට ලකුණු 107ක් එක්කළහ. හේලි ලකුණු 51ක්ද නයිට් ලකුණු 62ක්ද රැස්කිරීමට සමත් විය.


ඉලක්කය එතරම් අසීරු නොවුනද බාර්බඩෝස් ක්‍රීඩිකාවන්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ පාකිස්තාන ක්‍රීඩිකාවන්ට එය හබා යාම අසීරු විය. පාකිස්තාන නායිකා බිස්මා මහරුෆ් ඇතුළු මුල් පෙළ ක්‍රීඩිකාවන් සිව්දෙනාම ලකුණු 49ක් වන විට ක්‍රීඩාගාරයේ තරග නරඹන්නන් බවට පත්විය. නමුත් නිදා ඩාර් හතරේ පහර 7ක් හා එක් හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 50ක් රැස්කළද එය ජයග්‍රහණය උදෙසා ප්‍රමාණවත් නොවීය. ඒ අනුව නියමිත පන්දුවාර විස්ස අවසානයේදී පාකිස්තානය ක්‍රීඩිකාවන්ට කඩුලු 6ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 129ක් පමණි.


කෙටි ලකුණු පුවරුව

බාබඩෝස් කණ්ඩායම : 144/4

හේලි මැතිවුස් 51, කයිසියා නයිට්* 62

ෆාතිමා සනා 2/41

පාකිස්තාන කණ්ඩායම : 129/6

නිදා ඩාර්* 50, මුනීබා අලි 17

හේලි මැතිවුස් 1/13, ඩියෙන්ඩ්‍රා ඩෝටින් 1/25

1,157 views0 comments