• Chathura Ramanayake

ඕස්ට්‍රේලියානු ප්‍රහාරකයා බිග්බෑෂ් ලීගයටත් ගිවිසුම්ගත වෙයි !!!



බිග්බෑෂ් තරග ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා වන ක්‍රිස් ලින් මෙවර තරගවාරය වෙනුවෙන් ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමගින් ගිවිසුම්ගතව ඇත. නමුත් ඔහු මෙලෙසින් ඇඩිලේඩ් කණ්ඩායම සමගින් ගිවිසුම්ගතව ඇත්තේ මූලික වටයේ තරග 14න් 11ක් සදහා පමණි.


එම තරග 11 ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ක්‍රිස් ලින් එක්සත් අරාබි එමීර් ලීග් තරගාවලිය වෙනුවෙන් එක් වීමට නියමිත අතර ඔහු එම තරගාවලියේ ගල්ෆ් ජයන්ට්ස් කණ්ඩායම නියෝජනය කරයි. ILT20 තරගාවලියට ක්‍රීඩා කිරීම වෙනුවෙන් ක්‍රිස් ලින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ අනුමැතිය අපේක්ෂාවෙන් සිටි අතර ක්‍රිස් ලින්හට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ඊට අවසර ලබා දී ඇත.


පසුගිය වසරේ පැවති බිග්බෑෂ් ලීග් තරගාවලියේදී ක්‍රිස් ලින් බ්‍රිස්බේන් හීට්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ අතර ඔහුට එම තරගවාරයේදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 215ක් පමණි. ඒ හේතුවෙන් බ්‍රිස්බේන් කණ්ඩායම වෙනත් ක්‍රීඩකයෙකු කෙරෙහි අවදානය යොමු කිරීමට තීරණය කළ අතර ඒ හේතුවෙන් ඔහු ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමගින් එක්වී ඇත.


එළඹෙන ජනවාරි මස 20වනදා ක්‍රිස් ලින් බිග්බෑෂ් තරගාවලියෙන් නිදහස් කිරීමට සූදානම් බවත් ඉන් පසුව ඔහුට ILT20 තරගාවලියට ක්‍රීඩා කළ හැකි බවත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන ප්‍රකාශකයෙකු සදහන් කොට ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ILT20 තරගාවලිය ජනවාරි මස 6වනදා ආරම්භ වන අතර ක්‍රිස් ලින්ට එහි තරග කිහිපයක් මග හැරෙනු ඇත.

649 views0 comments