• Shahan Fernando

ඕස්ට්‍රේලියානු තණතීරු අතික්‍රමණයට වඩාත් උචිත වේගපන්දු බළඇණිය කුමක්ද ?


ආසියානු කුසලානය සාර්ථකව නිමාකළ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට නැවතත් දිවයිනට පැමිණ අවසන්. ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ අභියෝගය වන්නේ ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත 2022 විස්සයි විස්ස ලෝක කුසලානයයි.


ආසියානු කුසලානයේ දී ශ්‍රී ලංකාවට පසුගිය වසරේදී ලෝක කුසලානය තුළ වේගපන්දුවට පණදුන් දුෂ්මන්ත චමීර සහ බිනුර ප්‍රනාන්දු යන දෙදෙනාගේ සහාය හිමිවූයේ නැහැ. ඒ ඔවුන් දෙදෙනාම ආබාධ වලට ලක්වීම හේතුවෙන්.


කෙසේ නමුත් ඔක්තෝම්බර් 16 ඇරඹෙන ලෝක කුසලානයට තවත් ඉතිරිව ඇත්තේ මාසයක පමණ කාලයක් පමණයි. මේ වන විටත් ඕස්ට්‍රේලියාව, එංගලන්තය සහ ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක්ම සිය ලෝක කුසලාන සංචිත නම් කර අවසන්.


එවන් පසුබිමක මේ ලිපියෙන් අපි අවධානය යොමු කිරීමට සූදානම් වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන සංචිතයේ පන්දු යැවීමේ බළඇණිය පිළිබඳවයි.


ආසියානු කුසලානය ක්‍රියාත්මක වුණු ඩුබායි සහ සාජා තණතීරූ දඟ පන්දුවට උචිත වුවත් ලෝක කුසලානය පැවැත්වෙන ඕස්ට්‍රේලියානු තණතීරූ වේගපන්දුවට වඩාත් උචිතයි. එවන් පසුබිමක ශ්‍රී ලංකාව සිය පන්දු බලකාය කෙසේ සකස්කරගත යුතුද ?


ආසියානු කුසලානය අහිමි වූ චමීර සහ බිනුර යන දෙදෙනාම ලෝක කුසලාන සංචිතය එක් විය හැකිද ? ක්‍රීඩා අපගේ අදහස ඕස්ට්‍රේලියානු තනතිළි තුළ වේගපන්දුවට විශේෂීකරණය වූ පන්දු යවන්නන් දෙදෙනෙකු හෝ තිදෙනෙක් අනිවාර්යයෙන්ම ක්‍රීඩා කළයුතු බවයි.


ඔස්ට්‍රේලියානු තණතීරූ තුළ කඩුලු දවාගැනීමට වඩාත් උචිත උපායමාර්ග ද්විත්වයක් පවතී.


1. පන්දුව පැයට කිලෝමිටර් 140ට වැඩි වේගයකින් නිවැරදි එල්ලකයින් යොමු කිරීම.


දැනට මේ හැකියාව නිරන්තරයෙන් පිටියේ ප්‍රගුණ කර හැකි ශ්‍රී ලංකා පන්දු යවන්නන් වන්නේ දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර සහ දිල්ශාන් මධුසංකයි. ඔවුන් තිදෙනා අතරින් බොහෝ විට චමීර සහ දිල්ශාන් මධුසංක ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය තේරීම් වනු ඇති.


2. 130 ත් 140ත් අතර පන්දුව යොමු කරනවා නම් ඉතාමත් හොඳ දෝලනයකින් යුතුව පන්දුව යොමුකිරීම.


නුවන් කුලසේකර චමින්ද වාස් වැනි ක්‍රීඩකයින් ඕස්ට්‍රේලියානු තණතිලි තුළ පිතිකරුවන් අසරණ කාලේ මේ සුවිශේෂී හැකියාවෙන්. මේ හැකියාව ප්‍රගුණ කළහැකි ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතර පෙරමුණේ පසුවන්නේ බිනුර ප්‍රනාන්දුයි. ඔහුට පන්දුව තණතිල්ලේ පතිත කිරීමෙන් පසුව මෙන්ම ඉන්පෙර උඩු ගුවනේ ද පන්දුව හොඳින් දෝලනය කිරීමේ හැකියාව පවතී. ඔහුගේ ආබාධය සුව වී ඇත්නම් නිත්‍ය වශයෙන්ම ඔහුව ලෝක කුසලානයට ගෙන යායුතු බවයි අපගේ අදහස.


ඒ හැරුණු කොට ලෝක ආසියානු .කුසලාන අවසන් මහා තරඟය තුළ අතිශයින්ම සාර්ථක වුණු ප්‍රමෝද් මධුෂාන් ද සංචිතයේ ස්ථානයක් තහවුරු කරගනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. ඔහු සතු සුවිශේෂී හැකියාවක් වන්නේ ක්‍රීඩකයෙක් ගේ දුරවලතාවක් හඳුනාගෙන සකස් කරනු ලැබූ පන්දු රැකීමේ සැලැස්මකට නිවැරදිව පන්දු යැවීමයි. ආසියානු කුසලාන අවසන් මහා තරඟය තුළදී පාකිස්ථාන නායක බාබර් අසාම් දාවාගත් ආකාරය ඊට හොඳම නිදසුනයි.


ඒ අනුව ආබාධ තත්ත්වයන් බාධාවක් නොවන්නේ නම් දුෂ්මන්ත චමීර, දිල්ශාන් මධුසංක, බිනුර ප්‍රනාන්දු සහ ප්‍රමෝද් මධුෂාන් ශ්‍රී ලංකා සංචිතයේ අනිවාර්ය නම් කිරීම් විය යුතු බවයි අපගේ අදහස.



මේ හැරුණු කොට චාමිකගේ සහ දසුන්ගේ සහයත් තණතිල්ලේ ස්වභාවය අනුව ලබාගත හැකි බැවින් එය පන්දු බළඇණිය තවත් සවිමත් කරනු ඇති.


ආබාධ තත්ත්වයන් සලකා සංචිතයට අමතර වේගපන්දු යවන්නෙකු එක් කරනවා නම් ඒ අවස්ථාව අසිත ප්‍රනාන්දු සහ ලහිරු කුමාර යන දෙදෙනාගෙන් එක් අයෙකුට හිමිවිය යුතු බව අපගේ අදහසයි. ඔවුන් දෙදෙනා අතරින් අපගේ තේරීම වන්නේ ලහිරු කුමාරයි. ඕස්ට්‍රේලියානු භූමිය තුළ වේගයේ වාසිය හොඳින්ම ලබා ගැනීමට ඔහුට හැකියාවක් පවතිනු ඇතැයි අප විශ්වාස කරනවා.


දුෂ්මන්ත චමීර, දිල්ශාන් මධුසංක, බිනුර ප්‍රනාන්දු සහ ප්‍රමෝද් මධුෂාන් යන සිව්දෙනාම ශ්‍රී ලංකා සංචිතයට නම් කිරීමට අවස්ථාවක් තිබෙනවා නම් ඒ වෙනුවෙන් සංචිතයෙන් ඉවත්විය යුත්තේ කවුද ?


ප්‍රමෝද් සහ දිල්ශාන් දැනටමත් සංචිතයේ සිටින අතර තරගාවලිය තුළ ක්‍රීඩා නොකළ ප්‍රවීන් ජයවික්‍රම සහ ජෙෆ්රි වැන්ඩසේ බොහෝ විට වේගපන්දු යවන්නන් දෙදෙනකු වෙනුවෙන් හුවමාරු විය හැකි බවයි අපගේ අදහස.


වනිඳු සහ මහිෂ් දඟ පන්දුවේ වගකීම හොඳින්ම ඉටුකරන නිසාත්, ඕස්ට්‍රේලියානු තණතිලි තුළ දඟ පන්දු යවන්නන් තිදෙනෙක් ක්‍රීඩා කිරීමට අවශ්‍ය නොවන නිසාත්, දඟ පන්දු යවන්නන්ට සාපේක්ෂව වේගපන්දු යවන්නන් ස්වාභයෙන්ම අබාධ වලට ලක්වීමට වැඩි ඉඩක් පවතින නිසා අමතර වේගපන්දු යවන්නන් අනිවාර්යයෙන්ම සංචිතයේ සිටීය යුතු බවත් නිසා එය වඩාත් උචිත බවයි අපගේ අදහස.


ඒ අනුව ශ්‍රී ලංකා පන්දු බල ඇණිය ඉලක්කානෙන් වේගපන්දුවට වැඩි බරක් තැබෙන සංචිතයක් වීම වඩාත් උචිත වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. කෙසේ නමුත් පරාජයන්ගේ සේයාවන් මකාදමමින් ශ්‍රී ලංකාව ජයග්‍රණහය කරා මෙහෙයවීමට ශ්‍රී ලංකා තේරීම් කමිටුව ගත් කාලෝචිත සහ විශිෂ්ට තීරණ හේතු වූ නිසා ලෝක කුසලානයට ඔවුන්ට මේ වන විටත් සැලසුමක් පවතිනවා ඈති.


ඒ සැලසුම කුමක් විය හැකිද ? කවුරුන් සංචිතයේ ස්ථාන හිමිකරගනීද? මේ පිළිබඳ තොරතුරු ලද සැනින් ඔබවෙත ගෙන ඒමට ක්‍රීඩා අපි සූදානම්.

489 views0 comments