• Shahan Fernando

ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ප්‍රදානයක්.





ඕස්ට්‍රේලියාවත් ශ්‍රී ලංකාවත් අතර තරඟ 3කින් සමන්විත T20 ක්‍රිකට් තරඟාවලියක්, තරඟ 5කින් සමන්විත එක්දින තරඟාවලියක් සහ තරඟ 2කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියක් සහිත දීර්ඝ තරඟ සංචාරයක් සති කිහිපයකට පෙර නිමාව දුටුවා.


විස්සයි විස්ස තරඟාවලිය ඕස්ට්‍රේලියාව ජය ගනිද්දී, එක්දින තරඟාවලියේ ජයග්‍රහණය හිමිවුණේ ශ්‍රී ලංකාවටයි. ටෙස්ට් තරඟාවලිය 1-1 ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමාව දුටුවා.


කෙසේ නමුත් මෙම තරඟාවලිය මෙරට තුලදී දියත් වුණේ ශ්‍රී ලංකාව එකෙත් මෙතෙක් මුහුණ පෑ දැවැන්තම ආර්ථික අර්බුදයට මුහුණ පා සිටින මොහොතකයි. එමෙන්ම රට තුළ පැවැතියේ අතිශයින්ම අස්ථාවර දේශපාලන පසුබිමක්.


මේ තත්ත්වය සියැසින් දුටු ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරඟාවලිය පුරාවටම ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටි තත්ත්වය පිළිබඳව අදහස් පළකර අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ආධාර එක්රැස් කිරීමටද ඔවුන් කටයුතු කළා.


මේ අතරවාරයේදී අද දිනයේදී වාර්තා වුණේ ගෙවුණු තරඟ සංචාරයේදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ට හිමිවුණු සියළුම ත්‍යාග මුදල් මෙරට ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කිරීමට ඔවුන් තීරණය කරඇති බවයි.


ඒ අනුව එම තරඟාවලියේදී ඔවුන්ට ත්‍යාග මුදල් ලෙස ලැබුණු ඕස්ට්‍රේලියානු ඩොලර් 45000කට ආසන්න මුදලක් ඔවුන් මෙලෙස පරිත්‍යාග කිරීමට තීරණය කර තිබෙනවා. එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 115කට ආසන්න මුදලක්.


ඔවුන් මෙම පරිත්‍යාගය සිදුකරන්නේ ශ්‍රී ලංකාවේ පවත්නා අර්බුදය හමුවේ බලපෑමට ලක්ව සිටින කුඩා දරුවන් සහ උපකාර අවශ්‍ය පවුල් ඉලක්ක කර ගනිමින්. ඔවුන් මෙම මුදල ශ්‍රී ලංකා රජයට පිරිනැමීමක් සිදු නොකර UNESCO සංවිධානය හරහා පරිත්‍යාගය සිදුකරන ලබනවා.


ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් මෙම පරිත්‍යාගය පිළිබඳ අදහස් දක්වමින් පවසා තිබෙන්නේ ශ්‍රී ලාංකිකයන් මුහුණ දුන් තත්ත්වය ඔවුන් සියැසින් දුටු නිසා ඉතාමත් පහසුවෙන් ඔවුන්ට මෙම තීරණයට පැමිණීමට හැකි වූ බවයි.


ඕස්ට්‍රේලියානු කණ්ඩායම මින්පෙරත් මෙවැනිම කටයුත්තක නිරතවුනේ කොවීඩ් 19 වසංගතයෙන් අතිශය අර්බුධකාරී තත්ත්වයකට පස්වුණු ඉන්දියාව වෙනුවෙන් ඩොලර් 50000ක මුදලක් පරිත්‍යාග කරමින්.


කෙසේ නමුත් ඔවුන්ගේ මෙම සත්ක්‍රියාව හේතුවෙන් ආර්ථික අර්බුදය හමුවේ අසීරු තත්ත්වයකට පත්ව සිටින ශ්‍රී ලාංකික දරු දැරියන් සහ විපතට පත් පවුල් රැසකට UNESCO සංවිධානය හරහා සහන සැලසෙනු ඇති. ඒ වෙනුවෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට අපගේ ගෞරවණීය ස්තුතිය.

75 views0 comments