• Chathura Ramanayake

ඔලිම්පික් ඉතිහාසය තුළ සිදු වූ රසබර සිදුවීම් බිඳක් !!!


ක්‍රීඩා ලොව මෞලිමංගල්‍යය ලෙසින් සැලකෙන නූතන ඔලිම්පික් උළෙලේ සමාරම්භය වසර 1896 තෙක් ඈතට දිවයන්නකි. ග්‍රීසියේ ඇතැන්ස් නුවර කේන්ද්‍ර කොටගනිමින් ඇරඹෙන නූතන ඔලිම්පික් උළෙල සුවිශේෂී තත්වයක් හැරුණු කොට සෑම සිව්වසරකට වරක්ම ලොව පුරා විහිදී සිටින දසදහස් සංඛ්‍යාත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් යුතුව අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ.


ඇතැන්ස් නගරයෙන් නූතන ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹෙන්නට පෙරාතුව ක්‍රිස්තු පූර්ව 776දී පමණ ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් පැවති බවට ඉතිහාසගත මූලාශ්‍රයන් සාක්ෂි දරයි. දකුණු ග්‍රීසියේ වෙරළබඩ ආසන්නයේ පිහිටි පූජනීය ස්ථානයක් වූ ඔලිම්පියාහිදී මෙම ක්‍රීඩා උළෙල සිව්වසරකට වරක් පවත්වා ඇති බව සදහන්ය.


නූතන ඔලිම්පික් උළෙල ආරම්භ කිරීමෙහි පුරෝගාමියා ලෙසින් සැලකෙනුයේ පියරේ ද කුබර්ටීන් නැමති ප්‍රංශ ජාතිකයායි. පළමු වරට ග්‍රීසියේ ඇතැන්ස් නුවරදී ඇරඹි ඔලිම්පික් උළෙල පුරුෂ පාර්ශ්වයට පමණක් වෙන්වද්දී වසර 1900 ප්‍රංශයේ පැරිස්හිදී පැවති දෙවන ඔලිම්පික් උළෙලේ පටන් කාන්තා නියෝජනයන් දකගත හැකිවිය.


ඔලිම්පික් තරගාවලියේ ආරම්භක වගතුග එලෙසින් ලියවෙද්දී ඉතිහාසයේ අතිශය ඛේදජනක තරගාවලිය ලෙසින් වසර 1972 මියුනිච් ඔලිම්පික් උළෙල සැලකිය හැකිය. ඔලිම්පික් උළෙලට කඩාවදින පලස්තීන ගරිල්ලා ත්‍රස්තයන් විසින් අසල්වැසි ඊශ්‍රායල කණ්ඩායම සිය ප්‍රාණ ඇපයට නතුකරගත්තේ ඊශ්‍රායලය තුළ සිරකොට සිටි පලස්තීන ගරිල්ලාවරුන් නිදහස් කරන ලෙස ඉල්ලමිනි. නමුදු ක්‍රීඩකයන් මුදවාගැනීම වෙනුවෙන් දියත් වූ මෙහෙයුම අසාර්ථක වීම හමුවේ ඊශ්‍රායල ක්‍රිඩකයන් 11දෙනෙකුට අවසන් හුස්මපොද හෙලන්නට සිදුවිය.


කුරිරු ත්‍රස්ත ප්‍රහාරයෙන් ඔලිම්පික් ඉතිහාසයට කලුපැල්ලමක් එක් වද්දී ඇමරිකා එක්සත් ජනපද ආධිපත්‍යය ඔලිම්පික් ඉතිහාසය පුරාවටම පැවති ආකාරය පිළිබිඹු කරන්නේ රන් පදක්කම් දහසේ හා සමස්ථ පදක්කම් දෙදහසේ සීමව පසුකල එකම රට බවට පත්වෙමිනි. මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලෙහි අවසන් දිනයේදී පදක්කම් සටහනේ පෙරමුණ හිමිකරගැනීමට ඇමරිකා එක්සත් ජනපදය සමත් වන්නේ පුරා දින 14ක් මුලුල්ලේ පදක්කම් සටහනේ පෙරමුණහි රැදුනු චීනයෙහි බලාපොරොත්තු ක්ෂණයකින් විනාශ කර දමමිනි.


ඔලිම්පික් ඉතිහාසය දෙස අවධානය යොමු කරන විටදී ශ්‍රී ලංකා නාමය ලොවක් ඉදිරියේ බැබලවූ සුවිශේෂී චරිත ද්විත්වය නිරායාසයෙන් අප මතකයට නැගෙනු නොඅනුමානය. එවකට සිලෝන් යන නාමය යටතේ පළමුවරට ලන්ඩන් ඔලිම්පික් උළෙලට අප එක්වද්දී මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වෙහි රිදී පදක්කම් ලාභියා බවට පත්වන්නට ඩන්කන් වයිට් සමත්කම් දැක්වීය. එතැන් පටන් වසර 52ක් මුලුල්ලේ එම පදක්කමෙන් සැනසුම් සුසුම් හෙලන්නට මෙරට ක්‍රීඩා ලෝලීන්ට සිදුවිය. නැවත වරක් ශ්‍රී ලාංකේය අභිමානය ලොවක් ඉදිරියේ විදහාපාන්නට එවකට ආසියාවේ කලු වෙලඹ යන විරුදාවලිය ලත් සුසන්තිකා ජයසිංහට හැකිවන්නේ 2000 වසරේ සිඩ්නි ඔලිම්පික් උළෙලෙහිදීය. මීටර් 200 ඉසව්ව වෙනුවෙන් ඔලිම්පික් ධාවන පථයට පිවිසෙන සුසන්තිකා මුලුමහත් ශ්‍රී ලාංකීය ක්‍රීඩා ලෝලීන්ගේ මුවගට සිනහවක් කැන්දමින් එම ඉසව්වෙහි ලෝකඩ පදක්කම දිනාගනිද්දී පසුකලෙක එය රිදී පදක්කමක් බවට පරිවර්තනය විය.


ශ්‍රී ලාංකේය පදක්කම් වංශකතාව එතැකින් නිමාවද්දී ඔලිම්පික් ඉතිහාසයේ කෙටි දුර ධාවන ඉසව්වන් ඉදිරියේ සිය නාමය රන් අකුරින් ලියවාගන්නට ජැමෙයිකානු සුපිරි ක්‍රීඩක උසෙන් බෝලිට් සමත් වන්නේ නොකඩවා ඔලිම්පික් උළෙල ත්‍රිත්වයයකදීම මීටර් 100හා 200 ඉසව්ව්න්ගේ රන්පදක්කම් ලාභියා බවට පත්වෙමිනි. එතෙක් ඇමරිකානුවන් සතුවූ කෙටි දුර ධාවන ඉස්ව්වන්හි ආධිපත්‍යය බීජිං ඔලිම්පික් උළෙලේ පටන් ජැමෙයිකාව දෙසට නතුවද්දී සිය ජැමෙයිකානු සගයන්ද පෙරටු කොට ගන්නා උසේන් බෝල්ට් ලන්ඩන් හා රියෝ ඔලිම්පික් උළෙල ද්විත්වයේදීම මීටර් 100 සහය දිවීමේ ඉසව්වෙන්ද රන් පදක්කම දිනාගන්නට සමත් විය. බීජිං ඔලිම්පික් උළෙලෙහිදී ලෝක වාර්තාවක් සමගින් ලද රන් පදක්කම අහිමිවීමේ අවසන් ප්‍රතිඵලය වූයේ ඔලිම්පික් ඉතිහාසයේ වැඩිම රන්පදක්කම් ලාභී මළල ක්‍රීඩකයා ලෙසින් කාල් ලුවිස් හා පාවෝ නූර්මි සමගින් සමතැනෙහි රැදෙන්නට තිබූ අවස්ථාව උසේන් බෝල්ට්හට අහිමිවීමයි.



ධාවන පථයේ මෑතකාලීන අධිපත්‍ය ජැමෙයිකානුවන් සතු වද්දී ඔලිම්පික් පිහිණුම් තටාකාංගනය තුළදී සිය අණසක පතුරවනා පිහිනුම් ශූරයෙක් ඇමරිකා එක්සත් ජනපදයෙන් හමුවෙයි. මයිකල් පෙල්ප්ස් නැමති පිහිනුම් ශූරයා ඔලිම්පික් ඉතිහාසයේ රන් පදක්කම් 23කට උරුමකම් කියන්නට සමත්වන්නේ සමස්ථ ඔලිම්පික් පදක්කම් පෙළගැස්මෙහි අසල්වැසි ඉන්දියාවද අභිබවා යමිනි. අඛණ්ඩව ඔලිම්පික් උළෙල හතරකදී ඔලිම්පික් වාර්තා හා ලෝක වාර්තා පිහිටුවන්නට මයිකල් පෙල්ප්ස්ට හැකිවද්දී ඉතිහාසයේ වැඩිම පදක්කම් ලාභී ක්‍රීඩකයා ලෙසින්ද මයිකල් පෙල්ප්ස් නාමය වාර්තා පොත් අතරට එක්විය.


ඔලිම්පික් පිහිනුම් තටාකාංගනයේ දක්ෂතා දක්වන්නට ඇමරිකානුවන්ට හැකිවද්දී විවිධ ඉසව්වන්ගෙන් දස්කම් පෑ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් හමුවෙයි. ඔලිම්පික් ඉතිහාසයේ වැඩිම පදක්කම් ලාභිනිය ලෙසින් සැලකෙන ලැරීසා ලැටිනිනා ජිම්නාස්ටික් ඉසව්වෙන් ඔලිම්පික් බිමේ දස්කම් පෑ ක්‍රීඩිකාවකි. පැරණි සෝවියට් දේශය නියෝජනය කරමින් ඔලිම්පික් උළෙලට ත්‍රිත්වයකට එක්වන ඇය ඔලිම්පික් ඉතිහාසයේ වැඩිම පදක්කම් ලාභිනිය බවට පත්වන්නේ සමස්ථ පදක්කම් 18ක හිමිකාරිනිය බවට පත් වෙමිනි.


එමෙන්ම වසර 1968 මෙක්සිකෝ සිටි ඔලිම්පික් උළෙලෙහි සුවිශේෂී ලෝක වාර්තාවක් පිහිටුවන්නට ඇමරිකානු එක්සත් ජනපද ක්‍රීඩකයෙකු සමත්වන්නේ දුර පැනීමේ ඉසව්ව නියෝජනය කරමිනි. බොබ් බීමන් නම් මෙම ක්‍රීඩකයා විසින් දුරපැනීමේ පෙර පැවති ලෝක වාර්තාවට සාපේක්ෂව සෙන්ටිමීටර 55ක දුර ප්‍රමාණයකින් නව ලෝක වාර්තාවක් පිහිටුවන්නට සමත් විය. පසුකලෙකදී තවත් එක් ඇමරිකානුවෙකු විසින්ම දුර පැනීමේ ලෝක වාර්තාව බිද දැමුවද වසර 53ක් ඉපැරණි දුර පැනීමේ ඔලිම්පික් වාර්තාව තවමත් බොබ් බීමන් නාමය ඉදිරියේ ලියවී ඇත.


තවද, පාවහන් යුගලක් නොමැතිව තරග වදිමින් ඔලිම්පික් රන් පදක්කමක් දිනාගත් මැරතන් ධාවකයෙකු පිළිබදව ඉතිහාසගත තොරතුරු සාක්ෂි දරයි. අබාබි බිකිලා නැමති ඉතියෝපියානු මැරතන් ධාවකයා විසින් වසර 1960 ඔලිම්පික් උළෙලේ මැරතන් ඉසව්වෙහි රන් පදක්කම් ලාභියා ලෙසින් කිරුලු දරන්නේ පවහන් යුගලයක් නොමැතිව තරග වදිමිනි. රෝම ඔලිම්පික් උළෙලෙන් නොනැවතෙන අබාබි බිකිලා ටෝකියෝ ඔලිම්පික් උළෙලෙහිදීද මැරතන් ඉසව්වෙහි රන් පදක්කම දිනාගන්නේ පිට පිට ඔලිම්පික් උළෙල දෙකකදී මැරතන් ඉසව්වෙහි රන් පදක්කම් දිනූ ලොව පළමු හා එකම ක්‍රීඩකයා ලෙසිනි.


ඔලිම්පික් ඉතිහාසයේ සුවිශේෂී තැන් අලලා ලියැවුනු ලිපිය මෙතැකින් නිමාකරන්නේ ඉදිරි ඔලිම්පික් උළෙලෙකදී පදක්කම් සිහිනයට ලගාවන්නට අප ක්‍රීඩකයන්ට හැකිවේවායි යන ඒකායන පැතුම සමගිනි.






0 views0 comments