• Chathura Ramanayake

එංගලන්ත ලෙජන්ඩ්ස් පිළට එරෙහිව ජයසූරියගෙන් විශිෂ්ට පන්දු යැවීමක්


Road Safety ලෝක ශූරතා තරගාවලියේ පස්වන තරගය අද දිනයේදී කාන්පූර්හිදී පැවැත්විණි. එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහිව පැවති මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් නායක තිලකරත්න ඩිල්ෂාන් පළමුව පන්දු යැවීම තෝරාගත්තේය.


ඒ ආරාධනයෙන් පිටියට පිවිසෙන එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායමේ කිසිදු පිතිකරුවකුට වැඩිවේලා කඩුල්ලේ රැදෙන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ නොතැබූහ. ඉනීමේ වැඩිම ලකුණු ලාභීන් දෙදෙනා බවට පත් වන නායක ඉයන් බෙල් ලකුණු 15ක් රැස්කළ අතර කඩුලු රකින ක්‍රීඩක පිල් මස්‍ටාඩ් ලකුණු 14ක් රැස්කළේය.ඉන් අනතුරුව පිටියට පිවිසෙන පිතිකරුවන් සිව්දෙනාටම ලකුණු 10 සීමාව ඉක්මවන්නට ඉඩ නොතැබූ සනත් ජයසූරිය විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් එම පිතිකරුවන් සිව්දෙනාම ක්‍රීඩාගාරයට හරවා යවන්නට සමත් විය.



අද දිනයේදී පන්දුවෙන් දස්කම් පෑ ජයසූරිය සිය පන්දුවාර හතර තුළදී නිලකුණු පන්දුවාර 2ක් සමගින් ලකුණු 3ක් තුළදී කඩුලු 4ක් දවාගැනීමට සමත් විය. එංගලන්ත ඉනීමේ ආරම්භක පිතිකරු යුගලය හැර සෙසු කිසිදු පිතිකරුවකුට ලකුණු 10 සීමාව ඉක්මවන්නට ඉඩ නොලද අතර පන්දුවාර 19ක් තුළ සියලු ක්‍රීඩකයන් දැවී එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම රැස්කළේ ලකුණු 78ක් පමණි.


ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී නුවන් කුලසේකර හා චතුරංග සිල්වා කඩුලු 2 බැගින්ද ජීවන් මෙන්ඩිස් හා ඉසුරු උදාන එක් කඩුල්ල බැගින්ද දවාගැනීමට සමත් විය. පහසු ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙසින් නායක තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 15කදී දැවී ගියේය. අනතුරුව උපුල් තරංග හා ඩිල්ෂාන් මුණවීර දෙවන කඩුල්ලට ලකුණු 39ක් එක් කළහ.


උපුල් තරංග හතරේ පහර 2ක් හා හයේ පහරක් සමගින් ලකුණු 23ක් රැස්කිරීමට සමත් විය. ආරම්භක පිතිකරු ඩිල්ෂාන් මුණවීර හතරේ පහර 2ක් සමගින් ලකුණු 24කට දැවී යද්දී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 14 පන්දු 3ක් තුළදී කඩුලු 2ක් පමණක් දැවී නියමිත ඉලක්කය සපුරාලන්නට සමත් විය. ජීවන් මෙන්ඩිස් නොදැවී ලකුණු 8යි. මෙම ජයග්‍රහණයත් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකරගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට හැකිවිය.


2,360 views0 comments