• Chathura Ramanayake

එංගලන්ත යෞවනයන් පළමු තරගය ජය ගනී !!!


සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පළමු එක්දින තරගය අද වෝකෙස්ටර්හිදී පැවැත්විණි. තරගයේ කාසියේ වාසිය හිමිකරගත් එංගලන්ත යොවුන් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළහ.


ඒ ආරාධනයෙන් පිටියට පිවිසෙන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 9ක් දැවී ලකුණු 248ක් රැස්කොට තිබුණි. ශ්‍රී ලංකා ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වන ශෙවෝන් ඩැනියෙල් පන්දු 64ක් තුළ හතරේ පහර 5ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 54ක් රැස්කිරීමට සමත් විය.


කඩුලු රකින ක්‍රීඩක අංජල බණ්ඩාර පන්දු 62ක් තුළදී ලකුණු 44ක් රැස්කළේය. සෙසු පිතිකරුවන් වූ මල්ෂ තිරුපති ලකුණු 37කින් හා අභිෂේක් ලියනාරච්චි ලකුණු 33කින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ශක්තිමත් කරන්නට විය. පන්දු යැවීමේදී එංගලන්තය වෙනුවෙන් ෆාටේ සිං ලකුණු 49කට කඩුලු 3ක් බිදහෙලීය.


වර්ෂාවෙන් අනතුරුව තරගය ආරම්භ වද්දී එංගලන්ත යොවුන් පිළට පන්දුවාර 24ක් තුළදී ලකුණු 172ක ඉලක්කයක් හිමිවිය.එංගලන්ත ඉනීමේ ආරම්භක කඩුල්ලට ලකුණු 56ක සබදතාවක් ගොඩනැගෙද්දී ජොජ් තෝමස් ලකුණු 28කදී දවාගැනීමට ට්‍රෙවින් මැතිව් සමත් විය. නායක බෙන් මැකින්නි ලකුණු 32ක් රැස්කිරීමට සමත් විය.


අද දිනයේදී අත්‍යාවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වූ රවීන් සිල්වා, පන්දු 37කදී හතරේ පහර 4ක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 49ක් රැස්කොට සිටි ඇලෙක්ස් හෝට්න් දවාගැනීමට සමත් විය. එංගලන්ත යොවුන් කණ්ඩායමට අවසන් පන්දුවාර තුන තුළදී ජයග්‍රහණය වෙනුවෙන් කඩුලු 4ක් අතැතිව තවත් ලකුණු 24ක් අවශ්‍ය විය. නමුත් ඩැනියෙල් ඊබ්‍රහීම් වේගවත් පිතිහරඹයක් දියත් කරමින් තරගය ශ්‍රී ලංකාවෙන් උදුරා ගත්තේය.


ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 2ක් පමණක් අවශ්‍යව තිබියදී පන්දු 21කදී හතරේ පහර 2ක් හා හයේ පහරක් සමගින් ලකුණු 32ක් රැස්කළ ඩැනියෙල් ඊබ්‍රහීම් දවාගැනීමට දුවිදු රණතුංගට හැකිවිය. පන්දුවාර 23 එක් පන්දුවක් අවසානයේදී කඩුලු 7ක් දැවී තරගය ජයග්‍රහණය කිරීමට එංගලන්ත යොවුන් කණ්ඩායම සමත් විය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රවීන් ද සිල්වා ලකුණු 32කට කඩුලු 2ක් බිදහෙලීය.

1,195 views0 comments