• Chathura Ramanayake

එක්දින ශ්‍රේණිගතකිරීම්හි හිනිපෙත්තේ වැජබුනු නුවන් කුලසේකර !!!



කුලසේකර මුදියන්සේලාගේ දිනේෂ් නුවන් කුලසේකර වසර 1982 අද වැනි දිනක මෙලොව එළිය දුටුවේ නිට්ටඹුවේදීය. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයීය කීර්තිමත් ආදි සිසුවෙකු වූ නුවන් කුලසේකර වේගපන්දු යවන්නකු ලෙසින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ විශිෂ්ඨ ක්‍රීඩකයෙකි. 2001/02 තරගවාරයේදී දේශීය පළමු පෙළ තරග වලට ක්‍රීඩා කරන නුවන් කුලසේකර 2003 වසරේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් හිමිකරගත්තේ එංගලන්තයට එරෙහිව දඹුල්ලේ පැවති තරගයකදීය.


සිය මංගල එක්දින තරගයේදීම විශිෂ්ඨ දස්කම් පාන්නට කුලසේකර සමත් වූයේ පන්දුවාර 9ක් තුළ නිලකුණු පන්දුවාරයක්ද සමගින් ලකුණු 18කට කඩුලු 2ක් දවාගිනිමිනි. එම තරගයේදී එංගලන්ත කණ්ඩායම ලකුණු 88කට දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය. කුලසේකරගේ එක්දින ක්‍රිකට් ගමන එලෙසින් ඇරඹෙද්දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් හිස්වැසුම පලදින්නට තවත් වසර එක හමාරක් බලා සිටින්නට ඔහුට සිදුවිය. නවසීලන්තයයට එරෙහිව 2005 වසරේදී ටෙස්ට් වරම් හිමිකරගැනීමට කුලසේකරට හැකිවූයේ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සියවන ටෙස්ට් ක්‍රීඩකයා බවට පත් වෙමිනි.


එතැන් පටන් ශ්‍රී ලංකා එක්දින හා ටෙස්ට් කණ්ඩායම් ද්විතයටම වේගපන්දුවෙන් සිය දායකත්වය ලබා දෙන නුවන් කුලසේකර 2008 වසරේදී පාකිස්තානයට එරෙහිව විස්සයි විස්ස වරම් හිමිකරගත්තේය. වසර 2009 ජනවාරි මස 25 වනදා ජාත්‍යන්තර එක්දින පන්දු යවන්නන් අතර දෙවන ස්ථානය තෙක් ඉහළට පැමිණීමට නුවන් කුලසේකර සමත් විය. ඉන් මාස 2ක් ගතවන තැන එනම් වසර 2009 මාර්තු මස 11වනදා ජාත්‍යන්තර එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගතකිරීම්හි ප්‍රමුඛයා බවට පත් වන්නට නුවන් කුලසේකරට හැකිවිය.


චමින්ද වාස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමත් සමග ලසිත් මාලිංග සමගින් එක්ව ශ්‍රී ලංකා වේගපන්දුවේ බර කරට ගනිමින් කණ්ඩායම ජයග්‍රහණ කරා රැගෙන යාමට කුලසේකර සමත් විය. ලොව ප්‍රකට ESPNcricinfo වෙබ් අඩවිය විසින් නම් කළ 2008 වසරේ හොදම එක්දින පන්දු යැවීම් ලයිස්තුවට නුවන් කුලසේකර ඉන්දියාවට එරෙහිව ලකුණු 41කට දවාගත් කඩුලු 4ද ඇතුළත් විය. එක්දින පිටියේ එලෙසින් දස්කම් දක්වන නුවන් කුලසේකර පාකිස්තානයට එරෙහිව 2009 වසරේ පැවති ටෙස්ට් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියාද බවට පත් වූයේ තරගාවලියේ වීරයා ලෙසින්ද සම්මානයට පාත්‍ර වෙමිනි.


වසර 2009දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ප්‍රකාශයට පත් කරන ලද වසරේ එක්දින කණ්ඩායමට නුවන් කුලසේකර ඇතුළත් විය. ටෙස්ට් එක්දින පිටියේ දස්කම් දකවන කුලසේකර 2010 වසරේ නවසීලන්තයයට එරෙහි විස්සයි විස්ස තරගක ඔහු යොමුකළ පළමු පන්දුවාරයේදී නවසීලන්ත පිතිකරුවන් තිදෙනකු ක්‍රීඩාගාරයේ අසුගන්නවන්න්ට වගබලාගත්තේ පන්දුවාරය තුළ එක් ලකුණක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමිනි. එම තරගයේ වීරයා සම්මානය පන්දුවාර තුන තුළ එක් නිලකුණු පන්දුවාරයක්ද සමගින් ලකුණු 4කට කඩුලු 3ක් දවාගත් කුලසේකරට හිමිවිය.


පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද කණ්ඩායම සිය දායකත්වය ලබා දුන් නුවන් කුලසේකර 2012 වසරේ පැවති Commonwealth Bank තරගාවලියේ අවසන් තරගයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 73ක් රැස්කිරීමට සමත් විය. එමෙන්ම 2013 ශූරයන්ගේ කුසලාන තරගාවලියේ එංගලන්තයට එරෙහි තරගයේදී කුමාර් සංගක්කාර සමගින් එක්ව සිව්වන කඩුල්ලට ලකුණු 110ක සබදතාවක් ගොඩනගන්නට කුලසේකර සමත් වූයේ පන්දු 38ක් තුළ හතරේ පහර 5ක් හා හයේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 58ක් රැස්කරමිනි.


නුවන් කුලසේකර 2011 වසරේ ලෝක කුසලාන අනුශූරයන් බවට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට පිත්තෙන් හා පන්දුවෙන් සිය දායකත්වය ලබා දුනි. 2014 වසරේ පැවති පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේදී පිතිකරුවන් තමාගේ ග්‍රහණයට හසුකරගන්නට, ලසිත් මාලිංග හා නුවන් කුලසේකර සමත් වූයේ වයිඩ් යෝකර් පන්දු පන්දු සංකල්පය මැනවින් උපයෝගී කරගනිමිනි. 2016 වසරේ පැවති ආසියානු කුසලාන තරගාවලිය හා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියටද නුවන් කුලසේකර ක්‍රීඩා කළේය. එමෙන්ම ඔහු 2012 විස්සයි විස්ස ලෝක අනුශූරතාවය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම වේගපන්දු යවන්නෙකු ලෙසින් කණ්ඩායමට සිය දායකත්වය ලබාදුනි.


කුලසේකර ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ටෙස්ට් තරග 21ක් එක්දින තරග 184ක් හා විස්සයි විස්ස තරග 58කට ක්‍රීඩා කොට ඇත. එහිදී ටෙස්ට් කඩුලු 48ක් එක්දින කඩුලු 199ක් හා විස්සයි විස්ස කඩුලු 66ක් දවාගැනීමට ඔහුට හැකිවිය. ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම එක්දින කඩුලු ලාභීන් අතර පස්වැන්නා ලෙසින් රැදී සිටිනුයේ නුවන් කුලසේකරයි. පිතිකරණයෙන්ද කණ්ඩායමට අවශ්‍ය විට දායකත්වය ලබා දෙන නුවන් කුලසේකර ජාත්‍යන්තර ලකුණු 1933ක් රැස්කොට ඇත. එමෙන්ම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ක්‍රීඩා කරමින් කඩුලු 5ක් දවාගැනීමටද නුවන් කුලසේකර සමත් විය. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියක තමා යැවූ පළමු පන්දු 100 තුළ කිසිදු හයේ පහරක් ලබා නොදුන් පළමු පන්දු යවන්නා බවටද ඔහු පත් විය.


නුවන් කුලසේකර අවසන් වරට ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට 2017 වසරේදී ක්‍රීඩා කළ අතර බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලියේ තෙවන තරගය නුවන් කුලසේකරගේ සමුගැනීමේ උත්සවයක් වෙනුවෙන් වෙන් කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළහ. ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් සිය උපරිම දායකත්වය එක් කළ නුවන් කුලසේකර ඔබට Creedanet අප උපන්දින සුබපැතුම් එක් කරමු...

0 views0 comments