• Shaminda Jayarathne

එක දිනයකදී කඩුලු 26ක් දැවී යයි!

එංගලන්ත පළමු පෙළ ප්‍රාන්ත තරඟයකදී, තරඟයේ පළමු දිනයේදීම කඩුලු 26ක් දැවී ගියා. ඒ ඊයේ දිනයේදී ආරම්භ වූ ලැන්ක්ෂයෙර් සහ එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම් අතර පැවති තරඟයේදීයි.


මෙම තරඟයේ මුළින්ම පන්දුවට පහර දුන් ලැන්ක්ෂයෙර් කණ්ඩායම ලකුණු 131කට සීමා වුණා. ඔවුන් වෙනුවෙන් ටොම් බේලි ලකුණු 24ක් සහ ස්ටීවන් ක්‍රොෆ්ට් ලකුණු 23ක් වාර්තා කළා. පන්දු යැවීමේදී එසෙක්ස් වෙනුවෙන් සයිමන් හාමර් ලකුණු 33 කට කඩුලු 5ක් බිඳ හෙලීමට සමත් වුණා.


පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි එසෙක්ස් පිතිකරුවන්ද සාර්ථක වුණේ නෑ. හිටපු එංගලන්ත නායක ඇලෙස්ටයාර් කුක් පමණක් ලකුණු 40ක් රැස් කළා. ටොම් බේලි විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 36 කට කඩුලු 5ක් බිඳ හෙලීම නිසා එසෙක්ස් ඉනිම ලකුණු 107 කට සීමා වුණා.





පළමු දිනයේදීම ඉනිම දෙකම අවසන් වුණත් තවත් දිනයේ වේලාව ඉතිරිව තිබීම නිසා ලැන්ක්ෂයෙර් තම දෙවන ඉනිම ආරම්භ කළා. නමුත් සෑම් කුක් සහ ශේන් ස්නේටර් ගේ පන්දු යැවීම හමුවේ ලැන්ක්ෂයෙර් කණ්ඩායමේ පළමු කඩුලු 6 ලකුණු 7ක් තුළ බිඳ වැටුණා.


දිනය නිමා වන විට කඩුලු රකින ක්‍රීඩක ජෝර්ජ් බෙල් නොදැවී ලකුණු 18ක් ලබා ගනිමින් ලැන්ක්ෂයෙර් ඉනිම ලකුණු 25ක් දක්වා ඉහළ දැමුවා. ඒ අනුව පළමු දිනය අවසන් වන විට තම දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටිනා ලැන්ක්ෂයෙර් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 25ක් ලබාගෙන අතිශය අසීරුතාවයට පත්ව සිටිනවා. තරඟයේ පළමු දිනය තුළදීම කඩුලු 26ක් බිඳ වැටීම මෙම තරඟයේ විශේෂත්වයක් ලෙසින් හඳුන්වා දිය හැකියි.

150 views0 comments