• Shahan Fernando

උද්වේගකර සටනකින් පසු සිංහ ජවය හමුවේ ඉන්දියාව දණ නමයි.

Updated: Sep 7

ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දීය කණ්ඩායමට අතිශය තීරණාත්මක තරගයක් අද දිනයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පැවති මෙම තරගය අබුඩාබි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. අබුඩාබි ක්‍රීඩාංගණයේ තීරණාත්මක සාධකය වූ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානකට හැකිවිය. කාසියේ වාසිය හිමිවීමත් සමග සුපුරුදු ලෙසින් පන්දු රැකීම තෝරාගත්තේය.


ඉන්දීය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාගැනීමට ඉඩ නොතැබූ මහීෂ් තීක්ෂණ ලකුණු 6ක් රැස් කළ ලෝකේෂ් රාහුල් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකරගන්නට සමත් විය. ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි ලකුණු නොලබා ක්‍රීඩාගාරයට හරවා යවන්නට දිල්ෂාන් මධුසංඛට හැකිවිය. අනතුරුව ඉන්දීය නායකයා සමගින් පිටියේ එක්වන සූර්‍යකුමාර් යාදව් තෙවන කඩුල්ලට ලකුණු 97ක සබදතාවක් ගොඩනගන්නට සමත් විය.


එම සබදතාවයට නැවතීමේ තිත තබමින් පන්දු 41ක් තුළ හතරේ පහර 5ක් හා හයේ පහර 4ක් සමගින් ලකුණු 72ක් රැස්කළ රෝහිත් ෂර්මා දවාගැනීමට චාමික කරුණාරත්නට හැකිවිය. සූර්‍යකුමාර් යාදව්ට අද දිනයේදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 34ක් පමණි. හර්දික් පාන්ඩ්‍යා හා රිෂාබ් පාන්ට් ලකුණු 17 බැගින් රැස්කළ අතර රවිචන්ද්‍රන් අශ්වින් නොදැවී ලකුණු 15ක් රැස්කිරීමට සමත් විය.


නියමිත පන්දුවාර විස්ස අවසානයේදී ඉන්දීය කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 173ක් රැස්කළහ. පන්දු යැවීමේදී ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ දිල්ෂාන් මධුසංඛ පන්දුවාර හතර තුළ ලකුණු 24කට කඩුලු 3ක් දවාගනිද්දී දසුන් ශානක හා චාමික කරුණාරත්න කඩුලු 2, බැගින් දවාගැනීමට සමත් විය.


ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය පළමු කඩුල්ලට ලකුණු 97ක විශිෂ්ඨ සබදතාවක් ගොඩනගන්නට විය. ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 37ක් තුළදී හතරේ පහර හතරක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 52ක් රැස්කිරීමට සමත් විය. චරිත් අසලංක ලකුණු නොලබා දැවීයද්දී හා ධනුෂ්ක ගුණතිලක එක් ලකුණට දැවී යද්දී තරගයේ පීඩනය තරමක් දුරට ශ්‍රී ලංකාව දෙසට යොමු කරමිනි.


අද දිනයේදී පන්දු 37ක් තුළදී හතරේ පහර 4ක් හා හයේ පහර 3ක් සමගින් ලකුණු 57ක් රැස්කොට සිටියදී යුෂ්වේන්‍ද්‍රන් චහල්ගේ පන්දුවකට කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවීමෙන් දැවීගියේය. අනතුරුව නායක දසුන් ශානක හා එක්වන භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී මාවතට අවතීර්ණ කරන්නට විය. ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පන්දුවාර හතර තුළදී ලකුණු 42ක් අවශ්‍ය වූ අතර අවසන් පන්දුවාර දෙක තුළ එම ලකුණු සංඛ්‍යාව 21ක් දක්වා අඩුකරන්නට දසුන් හා භානුක වගබලාගත්හ.


බුවනේෂ්වර් කුමාර් යොමුකළ ඉනීමේ 19වන පන්දුවාරයේදී හතරේ පහර 2ක් සමගින් ලකුණු 14ක් රැස්කිරීමට දසුන් හා භානුකට හැකිවිය. අර්ෂදීප් සිංග් යොමුකළ අවසන් පන්දුවාරය තුළ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකාවට ලකුණු 7ක් අවශ්‍ය විය. පන්දුවාරයේ පළමු පන්දු හතරටම ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 5ක් පමණක් ලබා දෙන්නට අර්ශදීප් වගබලාගත්තේය.


නමුත් පස්වන පන්දුවේදී පන්දු රකින්නන් අතින් සිදුවූ අත්වැරදීම් හමුවේ අතිරේක ලකුණු 2ක් ලබාගනිමින් තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. දසුන් හා භානුක පස්වන කඩුල්ලට ලකුණු 64ක නොදැවුනු සබදතාවක් ගොඩනගන්නට සමත් වද්දී භානුක රාජපක්ෂ නොදැවී ලකුණු 25ක්ද දසුන් ශානක නොදැවී ලකුණු 33ක්ද රැස්කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් වූහ.



මෙම ජයග්‍රහණයත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි කණ්ඩායම් හතර වටයේ පෙරමුණට පැමිණීමට සමත්විය.

762 views0 comments