• Chathura Ramanayake

ඉසුරු උදාන දැක්වූ දස්කමක් යොවුන් ඇමරිකානු ක්‍රීඩිකාවකගෙනුත් !!!



බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය හදුන්වා දුන් සික්ස්‍ටි තරගාවලියේ පළමු කඩුලු ත්‍රිත්වය දවාගැනීමට ඇමරිකා එක්සත් ජනපද වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායිකා ගීතිකා කෝදාලිට හැකිවිය. බාබඩෝස් රෝයල්ස් කණ්ඩායම සමගින් පැවති තරගයේදී කඩුලු ත්‍රිත්වයක් දවාගැනීමට ගීතිකාට හැකි විය.


නමුත් මෙම කඩුලු ත්‍රිත්වය වාර්තා වූයේ නීත්‍යානුකූල පන්දු 2කදී වීම සුවිශේෂීය. දකුණත් මද වේගපන්දු යවන ක්‍රීඩිකා ගීතිකා කෝදාලිගේ කඩුලු ත්‍රිත්වයේ පළමු කඩුල්ල ලෙසින් දැවී ගියේ බාබඩෝස් නායිකා හේලි මැතිවුස් ය. දෙවන කඩුල්ල ලෙසින් බ්‍රිට්නි කූපර් ලකුණු නොලබා දැවි යන්නේ ගීතිකා යොමුකළ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙනි.


ගීතිකා යොමුකළ මීළග පන්දුව වයිඩ් පන්දුවක් වුවද පිතිකරණයේ යෙදුණු ක්ලෝයි ට්‍රයොන් සීමා ඉර අභිබවමින් ඉදිරියට පැමිණ තිබූ අතර ඉන් උපරිම ඵල නෙලාගත් කඩුලු රකින්නිය ඇයව ස්ටම්ප් කිරීමකට හසු කරගන්නට සමත් විය. කඩුලු රකින ක්‍රීඩිකා කිෂෝනා නයිට්ස්ගේ විශිෂ්ඨ කඩුලු රැකීම හේතුවෙන් නීත්‍යානුකූල පන්දු 2කදී කඩුලු ත්‍රිත්වයක් වාර්තා කරන්නට යොවුන් ක්‍රීඩිකා ගීතිකා කෝදාලිට හැකිවිය.


ඇය සිය පන්දුවාර දෙක තුළ ලකුණු 6කට කඩුලු 3ක් බිදහෙලීය. මෙවැනි ආකාරයට නීත්‍යානුකූල පන්දු 2ක් තුළ කඩුලු ත්‍රිත්වයක් දවාගත් පළමු පන්දු යවන්නා වූයේ ශ්‍රී ලංකා ක්‍රීඩක ඉසුරු උදානයි. ඉසුරු උදාන 2010 වසරේ පැවති චැම්පියන්ස් ලීග් තරගාවලියේ දී මෙම දස්කම දැක්වීය. එමෙන්ම 2014 වසරේ පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ප්‍රවීන් තම්බේ විසින් කොල්කටා කණ්ඩායමට එරෙහිව මෙවන් දස්කමක් පාන්නට සමත් විය.

863 views0 comments