• Chathura Ramanayake

ඉනීම අතරමග නැවත් වූ මාවන් හා මහේල !



වසර 145ක් පැරණි ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉතාමත් දුර්ලභ ගණයේ වාර්තාවක් පිහිටුවන්නට හිටපු ශ්‍රී ලංකා නායකයන් දෙපලක් සමත් විය. ආසියානු ටෙස්ට් ශූරතා තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව පැවති දෙවන ටෙස්ට් තරගයේදී සුවිශේෂී වාර්තාවක් පිහිටුවන්නට මාවන් අතපත්තු හා මහේල ජයවර්ධන සමත් විය.


එවැනි සුවිශේෂී වාර්තාවක් පිහිටවූ ලොව එකම ක්‍රීඩකයන් දෙදෙනා වනුයේද මාවන් හා මහේලයි.ටෙස්ට් තරගයකදී “Retired Out” ආකරයෙන් දැවී ගිය ලොව පළමු ක්‍රීඩකයන් දෙදෙනා බවට මාවන් හා මහේල පත් විය. Retired Out ආකාරයෙහි දැවී යාමකදී සිදුවනුයේ පිතිකරුවා සිය ඉනීම අතරමගදී නවතා දැමීමයි. මෙය ක්‍රීඩකයන් ආබාධයන්ට ලක්වීම, අසනීපයන්ට ලක්වීම යනාදියෙන් තොරව ක්‍රීඩකයන් සිය කැමැත්තෙන් ඉනීම නිමා කිරීමේ ක්‍රියාවලියකි. පිතිකරුවන්ගේ සාමාන්‍ය ලකුණු සෑදීමේ ක්‍රියාවලියේදී මෙය දැවීයාමක් ලෙසින් සලකනු ලබයි.


වසර 2001 සැප්තැම්බර් මස 6වනදා කොළඹ SSC ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ තරගයේ කාසිය වාසිය හිමිකරගත් සනත් ජයසූරිය පළමුව පන්දු යැවීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසි බංගලාදේශ කණ්ඩායම පළමු ඉනීමට සියලු ක්‍රීඩකයන් දැවී රැස්කිරීමට සමත් වූයේ ලකුණු 90ක් පමණි. පන්දුවෙන් දස්කම් පෑ මුත්තයියා මුරලිදරන් බංග්ලාදේශ ඉනීමේ කඩුලු 5ක් ලකුණු 13කදී බිදහෙලන්නට පළමු දිනයේදී සමත් විය.


අනතුරුව සිය පළමු ඉනීම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනය අවසානයේදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 246ක් සිය ලකුණු පුවරුවට එක් කරන්නට විය. නායක සනත් ජයසූරිය වේගවත් ලකුණු 89කට දැවී යද්දී දිනය නිමාවට පත්වන විට නොදැවී ක්‍රීඩා කළ මාවන් අතපත්තු ලකුණු 99ක් හා කුමාර් සංගක්කාර ලකුණු 49ක් රැස්කොට සිටියහ.


දෙවන දිනයේ පළමු කඩුල්ල ලෙසින් ලකුණු 54ක් රැස්කළ කුමාර් සංගක්කාර දැවීයාමෙන් අනතුරුව පිටියට එක්වන මහේල , පිටියේ රැදී සිටි මාවන් සමගින් එක්ව අගනා පිතිහරඹයක නිරත විය. දෙවන දිනයේ දිවා විවේකයට තරගය නතර කරන විටදී මාවන් අතපත්තු නොදැවී ලකුණු 197ක්ද මහේල ජයවර්ධන නොදැවී ලකුණු 82ක්ද රැස්කොට සිටියහ. දිවා විවේකයෙන් අනතුරුව මාවන් අතපත්තු සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ පස්වන ද්විත්ව ශතකය වාර්තා කරන්නට සමත් විය.


නමුත් ඉන් සුලු වේලාවකට පසුව මාවන් සිය ඉනීම නතර කරමින් ක්‍රීඩාගාරය බලා පියමන් කරේ සිය කැමැත්තෙන්ම බංග්ලාදේශයට කඩුල්ල පිරිනමමිනි.බංග්ලාදේශ පන්දු යවන්නට එරෙහිව තවදුරටත් සිය ඉනීම දියත් කළ මහේල ජයවර්ධන ලකුණු 150 සීමාව කරා පැමිණියේ පන්දු 115ක් පමණක් වැයකරමිනි. මාවන්ගේ අඩිපාරේම යමින් සිය ඉනීම එතැකින් නිමා කරන්නට මහේල ජයවර්ධන කටයුතු කළේ ටෙස්ට් තරගයකදී Retired Out ආකාරයෙන් දැවීගිය පළමු ක්‍රීඩකයන් දෙදෙනා අතරට එක්වෙමිනි.


ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනීමට කඩුලු 5ක් දැවී ලකුණු 555ක් රැස්කොට සිටියදී සිය ඉනීම අත්හිටුවීමට තීරණය කළහ. බංගලාදේශ කණ්ඩායම සිය දෙවන ඉනීම වෙනුවෙන් ලකුණු 328ක් රැස්කළද ඉනීමක පරාජයෙන් ගැලවෙන්නට එය ප්‍රමාණවත් නොවීය. තරගයේ තෙවන දිනයේදී බංගලාදේශ පිතිකරු මොහොමඩ් අශ්‍රාෆුල් ලකුණු 114ක් රැස්කරමින් ටෙස්ට් ශතකයක් රැස්කළ ලාබාලතම ක්‍රීඩකයා ලෙසින් වාර්තා පොත් අතරට එක්විය. යොවුන් ක්‍රීඩක මොහොමඩ් ම් අශ්‍රාෆුල් හා බංගලාදේශ දෙවන ඉනීමේද කඩුලු 5ක් දවාගත් මුත්තයියා මුරලිදරන් තරගයේ වීරයා ලෙසින් සම්මාන ලැබීය.


තරගයේ ලකුණු සටහන


බංග්ලාදේශ පළමු ඉනීම : 90/10 මොහොමඩ් අශ්‍රාෆුල් 26(53)

මුත්තයියා මුරලිදරන් 5/13, චමින්ද වාස් 3/47


ශ්‍රී ලංකා පළමු ඉනීම : 555/5d

මාවන් අතපත්තු 201(259), මහේල ජයවර්ධන 150(115), සනත් ජයසූරිය 89(56), කුමාර් සංගක්කාර 54(114)

නයිමුර් රහ්මාන් 2/117


බංග්ලාදේශ දෙවන ඉනීම : 328/10 මොහොමඩ් අශ්‍රාෆුල් 114(212), අමිනුල් ඉස්ලාම් 56(152), නයිමුර් රහ්මාන් 48(71) මුත්තයියා මුරලිදරන් 5/98, රුචිර පෙරේරා 3/40

0 views0 comments