• Chathura Ramanayake

ඉන්දියාව ආසියානු කුසලාන අවසන් කණ්ඩායම් හතරට !!!



ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේ සිව්වන තරගය අද දිනයේදී පැවැත්විණි. ඉන්දීය කණ්ඩායම හා හොංකොං කණ්ඩායම අතර පැවති මෙම තරගය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. තරගයේ කාසියේ වාසිය හිමිකරගත් හොංකොං කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළහ.


ඒ ආරාධනයෙන් පිටියට පිවිසෙන ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 192ක් රැස්කිරීමට සමත් විය. ඉන්දීය ඉනීමේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් රෝහිත් ෂර්මා හා ලෝකේෂ් රාහුල් ලකුණු 38ක් එක් කළහ. රෝහිත් ෂර්මා අද දිනයේදී ලකුණු 21ක් රැස්කළ අතර ජාත්‍යන්තර විස්සයි විස්ස ලකුණු 3500ක් රැස්කළ පළමු පිතිකරු බවට ඔහු පත් විය.


ලෝකේෂ් රාහුල් පන්දු 39කදී හයේ පහර 2ක් සමගින් ලකුණු 36ක් රැස්කළේය. අද දිනයේදී විශිෂ්ඨ ඉනීමක් ක්‍රීඩා කළ හිටපු නායක විරාට් කෝලි විස්සයි විස්ස පිටියේ වැඩිම අර්ධ ශතක ලාභීන් අතර සමතැන් ගත්තේ 31වන අර්ධ ශතකය රැස්කරමිනි. විරාට් කෝලි පන්දු 44කදී හතරේ පහරක් හා හයේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 59ක් රැස්කළේය.


වේගවත් ඉනීමක් ක්‍රීඩා කළ සූර්‍යකුමාර් යාදව් පන්දු 26කට පමණක් මුහුණ දෙමින් වේගවත් ලකුණු 68ක් නොදැවී රැස්කළේය. සූර්‍යකුමාර් යාදව්ගේ ඉනීම තුළ හතරේ පහර හා හයේ පහර 6 බැගින් අන්තර්ගත විය. ලකුණු 193ක ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන හොංකොං කණ්ඩායමට පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 152 රැස්කළහ.


හොංකොං කණ්ඩායම වෙනුවෙන් බාබර් හයාට් ලකුණු 41ක් රැස්කළ අතර කින්චිට් ශාහ් ලකුණු 30ක් රැස්කිරීමට සමත් විය. හොංකොං පිතිකරුවන් අවේෂ් ඛාන්ට එරෙහිව ලකුණු 53ක් රැස්කළහ. මෙම ජයග්‍රහණයත් සමගින් ඉන්දීය කණ්ඩායම අවසන් කණ්ඩායම් හතර අතරට සුදුසුකම් ලැබීමට සමත් විය.

391 views0 comments