• Shahan Fernando

ඉන්දියාවට එරෙහි තීරණාත්මක සටනේදී අසාර්ථක අංක 3 ස්ථානයේ වෙනසක් විය යුතුද ?

2022 ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණදෙන තීරණාත්මකම තරඟයක් හෙට දිනයේදී ආරම්භ වීමට නියමිතයි. ඒ සුපිරි සිව්දෙනාගේ වටයේ ඉන්දියාවට එරෙහි තරඟයයි.


ශ්‍රී ලංකාව සුපිරි සිව්දෙනාගේ වටයේදී තරඟ තුනකට මුහුණ දියයුතු අතර පළමු තරඟය ඇෆ්ගනිස්ථායට එරෙහිව සාර්ථාවක නිමාකළ ශ්‍රී ලංකාව හෙට මුහුණ දෙන්නේ මෙම වටයේ දෙවැනි තරඟයටයි.


මෙම ලිපියෙන් අපි අවධානය යොමු කරනු ලබන්නේ තරඟාවලිය තුළ කණ්ඩායම ක්‍රීඩා කළා සියලු තරඟ වලදී අසාර්ථක වුණු අංක 3 පිතිකරණ ස්ථානය පිළිබඳවයි.


Image Source - Getty Images


තරඟාවලිය පුරාවටම ශ්‍රී ලංකාවේ වෙනුවෙන් අංක තුන පිතිකරණ ස්ථානයේ වගකීම පැවරුණේ වමත් පිතිකරු චරිත් අසලංක වෙතටයි. නිමාවූ 2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථකම පිතිකරුවා වූ ඔහු මෙවර ආසියානු කුසලානයෙන් නම් එතරම් සාර්ථක වුනේ නැහැ.


චරිත් මෙවර තරඟාවලිය තුළ තරඟ 3කට මුහුණ දී ලබා ගැනීමට සමත්ව තිබෙන්නේ ලකුණු 8ක් පමණයි

.

පළමු තරඟය වූ ඇෆ්ගනිස්ථානයට එරෙහි තරඟයේදී චරිත් තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී ගියා. ඒ වේගපන්දු යවන ක්‍රීඩක ෆාසල්හක් ෆාරුකී යොමුකළ විශිෂ්ට පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරිමේ වරදට හසුවෙමින්.


ඉන්පසු බංග්ලාදේශයට එරෙහිව පැවැත්වුණු තරඟයේදී චරිත්ට පිටියේ රැඳී සිටීමට හැකි වූයේ පන්දු තුනක් වෙනුවෙන් පමණයි. එක් ලකුණක් පමණක් ලබසිටි ඔහු එම තරඟයේදී දැවී යන්නේ සිය මංගල තරඟයට ක්‍රීඩා කළා ඉබාදාත් හොසේන් ගේ පන්දුවක් හමුවේයි.


අවසන් වරට ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථානයට එරෙහි තීරණාත්මක හඹායාමේදී පන්දු 14ක් ක්‍රීඩා කරන චරිත් එහිදී රැස් කිරීමට සමත්වන්නේ ලකුණු 8ක් පමණයි. ඇෆ්ගන් නායක මොහොමඩ් නබී යොමුකළ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් ඔහු දැවී ගියේ පිට පිටම තුන්වන තරඟයත් අසාර්ථක වෙමින්.


ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු පිතිකරුවන් සියලුදෙනාම පාහේ තරඟ ත්‍රිත්වයෙන් එක් තරඟයකදී හෝ යම්කිසි සාර්ථකත්වය පෙන්වූ නමුත් තරඟ තිත්වයේදීම අංක 3 පිතිකරණ ස්ථානය අසාර්ථක වීම යම්තාක් දුරකට සැලකිල්ලට භාජනය කළයුතු කරුණක් බව පැහැදිලි.


මේ අනුව හෙට දිනයේ තරඟයට අංක තුන පිතිකරණ ස්ථානය වෙනුවෙන් ශ්‍රී ලංකාව වෙනසක් සිදුකරයි ද ? එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට තීරණ දෙකකට එළඹිය හැකිබවයි ක්‍රීඩා නෙට්වර්ක් අපගේ අදහස.


චරිත් කෙරෙහි විශ්වාසය තැබීම.


කණ්ඩායමේ සෙසු පිතිකරුන් ලකුණු අතර සිටින නිසා ඔවුන් පිළිබඳ විශ්වාසය තබා චරිත්ට තවත් අවස්ථාවක් ලබාදීමට කණ්ඩායමට හැකියාව තිබෙනවා. චරිත් නියත වශයෙන්ම තරඟයක් තනිව වෙනස්කල හැකි අතිදක්ෂ ක්‍රීඩකයෙක් නිසා තවදුරටත් ඔහුව ක්‍රීඩා කරවීමට ඉඩක් ඇති බවට උපකල්පනය කළ හැකී.


යම්කිසි හෙයකින් චරිත් අසලංක හොඳ රිද්මයකට පැමිණියහොත් එය ශ්‍රී ලංකා කණ්ඩායමට ආසියානු කුසලානයේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට නිතැතින්ම රුකුලක් වනු ඇති.


ඉන්දියාවට එරෙහිව අවධානමක් නොගෙන වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කිරීම.


අත්දැකීම් බහුල ඉන්දීය කණ්ඩායමට එරෙහිව එතරම් හොඳ රිද්මයක නොමැති චරිත් ක්‍රීඩා කරවීම චරිත්ට මෙන්ම කණ්ඩායමේ අංක 3 ස්ථානයකට එතරම් උචිත නොවනු ඇති බවට උපකල්පනය කරමින් වෙනත් ක්‍රීඩකයෙකු එම ස්ථානයට ආදේශ කරවීම අනෙක් තීරණයයි.


එසේ වුවහොත් චරිත් වෙනුවට ධනංජය ඩි සිල්වා හෝ අශේන් බණ්ඩාර ක්‍රීඩා කරවීම ශ්‍රී ලංකා කණ්ඩායමට ඇති පහසුම තිරණන් වනු ඇති. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් ක්‍රීඩා කරවනවා නම් බොහෝවිට ධනංජය ඩී සිල්වා ක්‍රීඩා කරවීමට වැඩි ඉඩ කඩක් පවතින බවයි අපගේ අදහස.


කෙසේ නමුත් හෙට තරඟයට පෙර පැවති මාධ්‍ය හමුවේද අද සාවස ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසා සිටියේ හෙට දිනයේදී චරිත් වෙනුවට ධනංජය ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවතින බවයි. නමුත් ඒ පිළිබඳ තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් ඔහු පවසා සිටියා.


නායක දසුන් ශානක සහ තේරීම් කමිටුව මේ අතරින් කුමන තීරණයට එළඹෙයිද ?


ප්‍රේක්ෂක ඔබ සිතන ආකාරයට හෙට තරඟයේදී අංක තුන ස්ථානයේ වෙනසක් සිදුවිය යුතුද ?

365 views0 comments