• Chathura Ramanayake

ඉන්දියානුවන් අභිබවමින් වාර්තා පොත් අලුත් කරනා පාකිස්තානුවන්


ජාත්‍යන්තර විස්සයි විස්ස විස්ස පිටියේ වේගවත්ම ලකුණු 2000 සීමාව සම්පුර්ණ කළ ක්‍රීඩකයන් අතරට ඇතුළත් වන්නට පාකිස්තාන කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් ඊයේ දිනයේදී සමත් විය. ඒ එංගලන්ත කණ්ඩායම සමගින් පැවති පළමු විස්සයි විස්ස තරගයේදීය. මෙම තරගයේදී මොහොමඩ් රිස්වාන් පන්දු 46ක් තුළ ලකුණු 68ක් රැස්කිරීමට සමත් විය.


ඒ සමගින් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටිය තුළ මේ වන වොට මොහොමඩ් රිස්වාන් රැස්කොට ඇති ලකුණු ගණන 2011කි. මොහොමඩ් රිස්වාන් ජාත්‍යන්තර ලකුණු 2000 සීමාව පසුකරන්නට වැය කළේ ඉනීම 52ක් පමණි. ඒ අනුව ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ වේගවත්ම ලකුණු 2000 සම්පුර්ණ කළ ක්‍රීඩකයා ලෙසින් බාබර් අසාම් සමගින් සමතැන් ගන්නට රිස්වාන්ට හැකිවිය.




බාබර් අසාම්ද ජාත්‍යන්තර විස්සයි විස්ස ඉනීම 52කදී ලකුණු 2000 සීමාව පසුකිරීමට සමත් විය. ජාත්‍යන්තර විස්සයි විස්ස ලකුණු 2000 අඩුම ඉනීම ගණනකින් සම්පූර්ණ කළ පිතිකරුවන් අතර තෙවැන්නා බවට පත් ව ඇත්තේ හිටපු ඉන්දීය නායක විරාට් කෝලි ය. ඔහු ඉනීම 56ක් වැයකරමින් ජාත්‍යන්තර විස්සයි විස්ස ලකුණු 2000 සම්පුර්ණ කරද්දී ලෝකේෂ් රාහුල් ඊයේ දිනයේදී විස්සයි විස්ස ලකුණු 2000 සම්පුර්ණ කිරීමට සමත් වූයේ ඉනීම 58ක් වැය කරමිනි.


අඩුම ඉනීම ගණනකින් ජාත්‍යන්තර විස්සයි විස්ස ලකුණු 2000 රැස්කළ පිතිකරුවන්


බාබර් අසාම් - 52

මොහොමඩ් රිස්වාන් - 52

විරාට් කෝලි - 56

ලෝකේෂ් රාහුල් - 58

ආරොන් ෆින්ච් - 62

බ්‍රෙන්ඩන් මැකලම් - 66

මාටින් ගප්ටිල් - 68

මොහොමඩ් ශෙෂාඩ් - 68

2,265 views0 comments