• Chathura Ramanayake

ඉන්දීය කාන්තා කණ්ඩායමට දෙවන එක්දින තරගයෙන් පහසු ජයක් !!!



සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම හා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරගය අද දිනයේදී පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මෙම තරගය ජයගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට අත්‍යාවශ්‍ය වූයේ තරගාවලිය සම කිරීමට මෙය කදිම අවස්ථාවක් බවට පත් වූ නිසාවෙනි.


තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ඉන්දීය නායිකාව පළමුව පන්දු යැවීමට තීරණය කළාය. ඒ ආරාධනයෙන් පිටියට පිවිසෙන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ මුල්පෙල කඩුලු 3ම ලකුණු 11ක් වන විට දවාගැනීමට ඉන්දීය ක්‍රීඩිකාවන් සමත් විය. අනතුරුව චමරි අතපත්තු, අනුෂ්කා සංජීවනී හා නිලක්ෂි සිල්වා පිළිවෙලින් ලකුණු 25ක් , 27ක් හා 32ක් බැගින් රැස්කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව කෙමෙන් කෙමෙන් ඉහළ නැංවූහ.


නමුත් නියමිත පන්දුවාර 50 තුළදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු ක්‍රීඩිකාවන් ලකුණු 173කට සීමා කරන්නට ඉන්දීය ක්‍රීඩිකාවන් වගබලාගත්හ. ශ්‍රී ලංකා ඉනීමේ වැඩිම ලකුණු ලාභිනිය වූ අමා කාංචනා නොදැවී ලකුණු 47ක් රැස්කිරීමට සමත් විය. ලකුණු 174ක ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන ඉන්දීය කාන්තා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනියන් වූ ස්ම්‍රිටි මන්දනා හා ශෆාලි වර්මා සාර්ථක ආරම්භක් ලබාගැනීමට සමත් විය. ඔවුන් දෙදෙනා එක්ව තරගය පහසුවෙන් ජයග්‍රහණය කරා රැගෙන ගියේ නොදැවුනු විශිෂ්ඨ ඉනීම් දියත් කරමිනි.


ස්ම්‍රිටි මන්දනා පන්දු 83කදී හතරේ පහර 11ක් හා එක් හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 91ක් රැස්කිරීමට සමත් වද්දී ශෆාලි වර්මා පන්දු 71ක් තුළ හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 71ක් රැස්කිරීමට සමත් විය. ඒ අනුව තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය හිමිකරගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායමට හැකිවිය.

0 views0 comments