• Chathura Ramanayake

ඉතිහාසයේ අද වැනි දිනක අයර්ලන්තය හමුවේ අසරණ වූ කොදෙව්වන් !!!

Updated: Jul 2



වසර 1969 ජූලි මස 2 වනදා, එනම් මීට වසර 53කට ඉහත අද වැනි දිනයකදී කොදෙව් ක්‍රිකට් ඉතිහාසයේ තවත් එක් අදුරුතම පරිච්ඡේදයක් සනිටුවහන් විය. එවක ප්‍රබලයන්ගෙන් සැදුම් ලත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම, අයර්ලන්ත කණ්ඩායම හමුවේ ලකුණු 25කට දැවීයාම සිදු වූයේ අද වැනි දිනකදීය.


කොදෙව් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයට සමගාමිව, අයර්ලන්ත කණ්ඩායම සමගින් පැවති මෙම තරගය Sion Mills හිදී පැවැත්විණි. එක කණ්ඩායමකට ඉනිම් දෙක බැගින් හිමි වූ මෙම තරගය එක් දිනකට පමණක් සීමා විය. තරගයේ කාසියේ වාසිය හිමිකරගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළහ. එවකට කොදෙව් කණ්ඩායමේ කළමනාකරු වූ ක්ලයිඩ් වැල්කොට්ද මෙම තරගයට ක්‍රීඩාකළ කොදෙව් කණ්ඩායමට ඇතුලත් විය.


ක්ලයිව් ලොයිඩ් ඇතුළු බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන් සියල්ලන්ම පාහේ අයර්ලන්ත වේගපන්දු යුගලය හමුවේ ඉතා අසරණ විය. අයර්ලන්ත වේගපන්දු යවන්නන් දෙපල වූ ඩග්ලස් ගුඩ්වින් හා ඇලෙක් ඔරියෝඩන් හමුවේ කිසිදු කොදෙව් පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව ඉක්මවන්නට නොහැකි විය. කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ග්‍රේසෙන් ශිලින්ග්ෆර්ඩ් නොදැවී ලකුණු 9ක් රැස්කළේය.


 බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන් සිව්දෙනෙකුම ලකුණු නොලබාම ක්‍රීඩාගාරයට පියමන් කරද්දී, පන්දුවාර 25 පන්දු 3ක් තුලදී කොදෙව් පළමු ඉනීම ලකුණු 25කට සීමා විය. පන්දු යැවීමේදී අයර්ලන්ත පිල වෙනුවෙන් ඩග්ලස් ගුඩ්වින් ලකුණු 6කට කඩුළු 5ක් බිදහෙලද්දී ඔහුට අගනා සහයක් ලබාදුන් ඇලෙක් ඔරියෝඩන් ලකුණු 18කට කඩුළු 4ක් දවාගැනීමට සමත් විය.


පිළිතුරු ලෙසින් සිය පළමු ඉනීම ඇරඹු අයර්ලන්ත කණ්ඩායම පන්දුවාර 47 පන්දු 2ක් තුල කඩුළු 8ක් දැවී ලකුණු 125ක් රැස්කොට සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළහ. අයර්ලන්ත පළමු ඉනිමේදී ඩේවිඩ් පිගොට් ලකුණු 37ක් හා ඇලෙක් ඔරියෝඩන් ලකුණු 35ක් රැස් කළහ. පළමු ඉනිමේදී ලද අවමානයෙන් ගැලවීමේ අදිටනින් සිය දෙවන ඉනීම වෙනුවෙන් පිටියට පිවිසි කොදෙව් පිතිකරුවන් දිනය අවසානයේදී කඩුළු 4ක් දැවී ලකුණු 78ක් රැස්කොට සිටියහ.


කොදෙව් නායක බැසිල් බවුචර් ලකුණු 50ක් හා ජෝ කැරෙව් ලකුණු 25ක් රැස් කිරීමට සමත් විය. කොදෙව් දෙවන ඉනිමේ කඩුළු දෙක බැගින් දවාගන්නට ඩග්ලස් ගුඩ්වින් හා ජෙරල්ඩ් ඩුෆි සමත් විය. කොදෙව් ක්‍රිකට් ඉතිහාසයට අදුරු මතකයක් එක කල මෙම ටෙස්ට් තරගය ජයපරාජයෙන් තොරව නිමවුවද පළමු ඉනිමේ ජය අයර්ලන්ත පිලට හිමි විය. තරගය පුරාවට විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ඩග්ලස් ගුඩ්වින් ලකුණු 7කට කඩුළු 7ක් බිදහෙලන්නට විය.


0 views0 comments