• Chathura Ramanayake

ඇෆ්ගනිස්තානය හා ශ්‍රී ලංකාව අතර තරගයේ කණ්ඩායම් සංයුතිය කෙසේ වේවිද ?



පහළොස් වන ආසියානු කුසලාන තරගාවලිය අද දිනයේදී ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ පළමු තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම තරග වැවීමට නියමිතය. කණ්ඩායම් දෙකෙහි සංයුතිය හා තරගය පිළිබඳව Creedanet අප ගෙන එන පෙර විමසුමක් මෙතැන් පටන්...


කණ්ඩායම් ද්විත්ව සැලකීමේදී ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයන් ලීග් ක්‍රිකට් පිටියේ අත්දැකීම් බහුල ක්‍රීඩකයන්ය. නමුත් ඔවුන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ප්‍රභල කණ්ඩායම් සමගින් එතරම් තරග ප්‍රමාණයක් ක්‍රීඩා කොට නොමැත. ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේදී මුණගැසී ඇත්තේ එක් තරගයකදී පමණි. 2016 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ තරගයක් වූ එම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් විය.


කණ්ඩායම් දෙක ආසියානු කුසලාන ඉතිහාසයේ එක් තරගයකට ක්‍රීඩා කොට ඇති අතර එක්දින තරගයක් වූ එම තරගයේ ජයග්‍රහණය හිමි වූයේ ඇෆ්ගනිස්තානයටයි. කණ්ඩායම් දෙක අවසන් වරට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ක්‍රීඩා කළ තරග 5 පිළිබඳව අවදානය යොමු කිරීමේදී ශ්‍රී ලංකාව ඉන් එක් තරගයක් පමණක් ජයගෙන ඇති අතර ඇෆ්ගනිස්තානය තරග 2ක් ජයගෙන ඇත.


කණ්ඩායම් ද්විත්වය සතු ක්‍රීඩකයන් කෙරෙහි අවධානය යොමු කිරීමේදී වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර කණ්ඩායම සතු නොවීම ඉතාමත් අවාසි සහගත වනු ඇත. ඇෆ්ගනිස්තාන කණ්ඩායම සතු වේගපන්දු යවන ක්‍රීඩක නවීන් උල් හක් ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන්ට සාපේක්ෂව විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකි. ඔහු විස්සයි විස්ස තරග 112ක් තුළදී කඩුලු 140ක් බිදහෙලා ඇති වේගපන්දු යවන්නෙකි.


කණ්ඩායම් ද්විත්වය සතුවම විශිෂ්ඨ පා දගපන්දු යවන්නන් දෙදෙනෙකු සිටියි. ජාත්‍යන්තර විස්සයි විස්ස ශ්‍රේණිගතකිරීම්හි පස්වැන්නා වන වනිදු හසරංග හා හයවැන්නා වන රශීඩ් ඛාන් පිළිබඳව කණ්ඩායම් ද්විත්වයම අවදානය යොමු කළ යුතුය. එමෙන්ම කණ්ඩායම් දෙකටම දක්ෂ දකුණත් පිට දගපන්දු යවන්නන් දෙදෙනෙකු ඇතුළත්ය. මුජීබර් රහ්මාන් හා මහීෂ් තීක්ෂණ යන ක්‍රීඩකයන් දෙදෙනාද මෙම තරග ප්‍රතිඵලයට තීරණාත්මක බලපෑමක් එල්ල කරනු නොඅනුමානය.


කණ්ඩායම් වල පිතිකරණ ඒකකය දෙස අවදානය යොමු කිරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් මේ වන විට දක්ෂතා අතරට පැමිණීමට සමත්ව ඇත. එමෙන්ම චරිත් අසලංක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති අවසන් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ විශිෂ්ඨ දස්කම් පෑ ක්‍රීඩකයෙකි. ඇෆ්ගනිස්තාන පිතිකරණ ඒකකය ශක්තිමත් කරන නජිබුල්ලා සද්‍රාන් හා හස්‍රටුල්ලා සසායි යන ක්‍රීඩකයන් දෙදෙනා මෙම වසර තුළදී හොදින් දස්කම් පා ඇත.


කණ්ඩායම් දෙකෙහි නායකයන් පිළිබඳව අවදානය යොමු කිරීමේදී දසුන් ශානක අවසන් විස්සයි විස්ස ඉනීම පහ තුළදී හොදින් දස්කම් අතරට පැමිණ ඇත. ඕස්ට්‍රේලියාව හා ඉන්දියාවට එරෙහිව පැවති එම තරග 5 තුළදී ලකුණු 189ක් රැස්කිරීමට දසුන්ට හැකිවී ඇත. නමුත් ඇෆ්ගනිස්තාන නායක මොහොමඩ් නබීට අවසන් විස්සයි විස්ස ඉනීම් 5 තුළදී රැස්කිරීමට හැකිව ඇත්තේ ලකුණු 25ක් පමණි. මොහොමඩ් නබී අවසන් විස්සයි විස්ස තරග 5න් 3ක පන්දු යවා ඇති අතර එහිදී ඔහු කඩුලු 4ක් දවාගෙන ඇත.


අද තරගය පැවැත්වෙන අබුඩාබි ක්‍රීඩාංගණයේ තණතීරුව පිළිබඳව අවදානය යොමු කරන විට, දගපන්දු යවන්නන්ට වැඩි වාසි ගෙන දෙන තණතීරුවක් බවට එය පත්වනු ඇත. අවසන් දින හතරෙහිදී රාත්‍රී කාලයේදී එතරම් පින්න පතිත වී නොමැත. පින්න අවම වාශයෙන් පතිත වීම තරගයේ තීරණයට කාසියේ වාසිය මගින් එල්ල කරන්නා වූ බලපෑම අවම කරනු ඇත.


කණ්ඩායම් දෙකෙහි සංයුතිය කෙරෙහි අවධානය යොමු කරන විටදී අද තරගයට වමත් වේගපන්දු යවන්නෙකු එක් කරගන්නා බව දසුන් ශානක සදහන් කොට ඇත. ඒ අනුව සංචිතයට ඇතුළත් එකම වමත් වේගපන්දු යවන්නා වන,දිල්ෂාන් මධුසංඛ අද දිනයේදී විස්සයි විස්ස වරම් හිමිකරගනු ඇත. ඔහුට අමතරව වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු හෝ මතීෂ පතිරණ අද තරගයට ක්‍රීඩා කරනු ඇත.


ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ ශක්තිමත් කිරීමට තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා ක්‍රීඩා කරනු ඇතැයිද වාර්තා වෙයි.ඇෆ්ගනිස්තාන කණ්ඩායම දගපන්දු ඒකකය ශක්තිමත් කිරීමේ අරමුණින් අද තරගයට නූර් අහමඩ් එක් කොට ගැනීමට සූදානමින් පසුවන බවද වාර්තා වෙයි. නමුත් මෙම වසරේ වැඩිම කඩුලු ලාභී ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයා වන ෆස්ලාහ් ෆරූකිද කණ්ඩායමට ඇතුළත් ය. ඔවුන් දෙදෙනා අතරින් එක් අයෙකුට අද දිනයේදී ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වෙයි.


අද තරගයට ක්‍රීඩා කළ හැකි කණ්ඩායම්


ශ්‍රී ලංකාව : දසුන් ශානක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, වනිදු හසරංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, අසිත ප්‍රනාන්දු/ මතීෂ පතිරණ, දිල්ෂාන් මධුසංඛ


ඇෆ්ගනිස්තාය : හස්‍රටුල්ලා සසායි, රහ්මනුල්ලා ගුර්බාස්, ඊබ්‍රහීම් සද්‍රාන්, නජිබුල්ලා සද්‍රාන්, මොහොමඩ් නබී, සමිඋල්ලා ශින්වාරි, රශීඩ් ඛාන්, කරීම් ජනට්, නවීන් උල් හක්, මුජිබර් රහ්මාන්, නූර් අහමඩ්/ ෆස්ලාහ් ෆරූකි


මෙම වසර තුළ කණ්ඩායම් දෙකෙහි වැඩිම ලකුණු හා කඩුලු රැස්කළ ක්‍රීඩකයන්


වැඩිම ලකුණු

පැතුම් නිස්සංක - 326

දසුන් ශානක - 308

නජිබුල්ලා සද්‍රාන් - 255

චරිත් අසලංක - 226

හස්‍රටුල්ලා සසායි - 205


වැඩිම කඩුලු

ෆස්ලාහ් ෆරූකි - 11

දුෂ්මන්ත චමීර - 10

වනිදු හසරංග - 10

ලහිරු කුමාර - 9

රශීඩ් ඛාන් - 9

මොහොමඩ් නබී/ නවීන් උල් හක් / මහීෂ් තීක්ෂණ - 7

786 views0 comments