• Chathura Ramanayake

ඇෆ්ගනිස්තානුවෝ ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු ඉටු කරති !!



ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවට අතිශය තීරණාත්මක තරගයක් අද දිනයේදී පැවැත්විණි.ඒ ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතරයි. සාජාහිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් බංග්ලාදේශය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළහ.


ඒ අනුව පිටියට පිවිසෙන බංග්ලාදේශ කණ්ඩායමට පීඩනයක් එල්ල කිරීමට ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන් සමත් විය. බංග්ලාදේශ කණ්ඩායමේ මුල්පෙල පිතිකරුවන් සිව්දෙනාම ලකුණු 28ක් තුළ ක්‍රීඩාගාරයට හරවා යවන්නට ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන් සමත් විය.


අෆිෆ් හුසේන්ටද රැස්කිරීමට හැකිවූයේ ලකුණු 15ක් පමණි. මහමදුල්ලා රියාස් පන්දු 27කදී ලකුණු 25ක් රැස්කිරීමට සමත් විය. බංග්ලාදේශ ලකුණු පුවරුව ඉහළ නංවන්නට වේගවත් ඉනීමක් ක්‍රීඩා කළ මොසැදික් හුසේන් පන්දු 31කදී හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 48ක් රැස්කිරීමට සමත් විය. නියමිත පන්දුවාර විස්ස අවසානයේදී බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 127ක් රැස්කළහ.


පන්දු යැවීමේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් මුජීබර් රහ්මාන් ලකුණු 16කටද රශීඩ් ඛාන් 22කටද කඩුලු 3 බැගින් බිදහෙලීය. ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ආරම්භක පිතිකරු රහ්මනුල්ලා ගුර්බාස් ලකුණු 11කට දවාගැනීමට ශකිබ්ට හැකිවිය. හස්‍රටුල්ලා සසායි ලකුණු 23ක් රැස්කළ අතර මොහොමඩ් නබීට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 8ක් පමණි.


අනතුරුව පිටියේ එක්වන නජිබුල්ලා සද්‍රාන් හා ඊබ්‍රහීම් සද්‍රාන් යුගලය වේගවත් පිතිහරඹයක් දියත් කරමින් තරගය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් විය. පන්දු 9ක් ඉතිරිව තිබියදීම හයේ පහරක් එල්ල කරමින් තරගය අවසන් කිරීමට නජිබුල්ලා සද්‍රාන් සමත් විය. වේගවත් විජයග්‍රාහී ඉනීමක් ක්‍රීඩා කළ පන්දු 17කට පමණක් මුහුණ දෙමින් හයේ පහර 6ක් හා එක් හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 43ක් රැස්කිරීමට සමත් විය.


ඔහුට අගනා සහයක් ලබාදුන් ඊබ්‍රහීම් සද්‍රාන් පන්දු 41කදී හතරේ පහර 4ක් සමගින් නොදැවී ලකුණු 42ක් රැස්කළේය. මෙම ජයග්‍රහණය සමගින් ආසියානු කුසලාන තරගාවලියේ අවසන් කණ්ඩායම් හතරට පිවිසි පළමු කණ්ඩායම බවට පත් වන්නට ඇෆ්ගනිස්තානයට හැකිවිය.

131 views0 comments