• Chathura Ramanayake

ඇෆ්ගනිස්තාන පන්දු බලඇණිය අයර්ලන්තය ඉදිරියේ අසරණ වෙයි !!!



සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා අයර්ලන්ත කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස තරගය ඊයේ දිනයේදී පැවැත්විණි. තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ඇෆ්ගනිස්තාන නායක මොහොමඩ් නබී පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව ඉනීම ආරම්භ කරමින් පිටියට පිවිසියේ රහ්මනුල්ලා ගුර්බාස් සමගින් උස්මාන් ගානිය.


ඔවුන් දෙදෙනාට පළමු කඩුල්ල වෙනුවෙන් රැස්කිරීමට හැකිවූයේ ලකුණු 34ක් පමණි. රහ්මනුල්ලා ගුර්බාස් ලකුණු 26කදී දවාගැනීමට මැකර්ති සමත් විය. හෂ්මටුල්ලා ශහීදිට ඊයේ දිනයේදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 11ක් පමණි. නජිබුල්ලා සද්‍රාන්ද ලකුණු 15කදී ක්‍රීඩාගාරයට හරවා යවන්නට ගැරෙත් ඩෙලනිට හැකිවිය. ඇෆ්ගනිස්තාන ආරම්භක පිතිකරු උස්මාන් ගානි පන්දු 42කට ක්‍රීඩා කරමින් හතරේ පහර 6ක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 59ක් රැස්කිරීමට සමත් විය.


උස්මාන් ගානි ඊයේ දිනයේදී වාර්තා කළේ සිය හතරවන විස්සයි විස්ස අර්ධ ශතකයයි. නායක මොහොමඩ් නබීට ඊයේ දිනයේදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 5ක් පමණි. ඇෆ්ගනිස්තානය වෙනුවෙන් නොදැවී පන්දුවට පහරදුන් ඊබ්‍රහීම් සද්‍රාන් පන්දු 18කදී එක් හතරේ පහරක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 29ක් රැස්කළේය. අස්මටුල්ලා ඔමර්සායිද ඇෆ්ගනිස්තාන ඉනීමට ලකුණු 11ක් එක් කරන්නට විය. ඒ අනුව නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 168ක් රැස්කිරීමට ඇෆ්ගනිස්තාන පිතිකරුවන් සමත් විය. පන්දු යැවීමේදී අයර්ලන්තය වෙනුවෙන් බැරී මැකාර්ති කඩුලු 3ක් හා ජෝර්ජ් ඩොක්‍රෙල් කඩුලු 2ක් දවාගැනීමට සමත් විය.


ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන අයර්ලන්ත ආරම්භ පිතිකරු යුගලය වූ පෝල් ස්ටර්ලින් හා නායක ඇන්ඩි බැල්බර්නි එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 61ක සබදතාවක් ගොඩනගන්නට විය. පෝල් ස්ටර්ලින් ලකුණු 31ක් රැස්කොට සිටියදී දැවීයන්නේ මොහොමඩ් නබීගේ පන්දුවක් හමුවේ උඩපන්දුවක් ලබාදෙමිනි. අනතුරුව නායක ඇන්ඩි බැල්බර්නි හා එක්වන ලෝකන් ටකර් දෙවන කඩුල්ලට තවත් ලකුණු 62ක් එක් කරන්නට වගබලාගත්තේය. නායක ඇන්ඩි බැල්බර්නි පන්දු 38කදී හතරේ පහර 5ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 51ක් රැස්කොට සිටියදී දවාගැනීමට මුජීබර් රහ්මාන්ට හැකිවිය.



ලෝකන් ටකර්ද පන්දු 32කට ක්‍රීඩාකරමින් හතරේ පහර 6ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 50ක් රැස්කොට සිටියදී නවීන් උල් හක්ගේ පන්දුවක් හමුවේ රශීඩ් ඛාන් අතට උඩපන්දුවක් ලබා දී දැවී ගියේය. ඔහු දැවී යන විට අයර්ලන්ත කණ්ඩායමට අවසන් පන්දුවාර 2 තුළ කඩුලු 7ක් අතැතිව ජයග්‍රහණය වෙනුවෙන් තවත් ලකුණු 23ක් අවශ්‍ය විය. යොවුන් ක්‍රීඩක හැරී ටෙක්ටර් දහනවවන පන්දුවාරයේ දෙවන පන්දුවේදී හයේ පහරක් එල්ල කළ අතර එම පන්දුවාරය තුළ ලකුණු 10ක් අයර්ලන්ත ඉනීමට එක්විය.


 

අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය වෙනුවෙන් තවත් ලකුණු 13ක් අවශ්‍ය විය. නවීන් උල් හක් යොමු කළ අවසන් පන්දුවාරයේදී හතරේ පහර 3ක් එල්ල කරමින් අයර්ලන්තයට ජයග්‍රහණය අත්කරදෙන්නට හැරී ටෙක්ටර් හා ජෝජ් ඩොක්‍රෙල් සමත් විය. අයර්ලන්තය වෙනුවෙන් හැරී ටෙක්ටර් එක් හතරේ හා හයේ පහර බැගින් එල්ල කරමින් නොදැවී ලකුණු 25ක්ද ජෝජ් ඩොක්‍රෙල් නොදැවී ලකුණු 10ක්ද රැස්කරන්නට විය. තරගයේ වීරයා ලෙසින් අයර්ලන්ත නායක ඇන්ඩි බැල්බර්නි සම්මානයට පාත්‍ර විය.



ඇෆ්ගනිස්තානය : 168/7 (20)

උස්මාන් ගානි 59(42), ඊබ්‍රහීම් සද්‍රාන්* 29(18)

බැරී මැකාර්ති 3/34, ජෝජ් ඩොක්‍රෙල් 2/7


අයර්ලන්තය : 171/3 (19.5)

ඇන්ඩි බැල්බර්නි 51(38), ලෝකන් ටකර් 50(32), පෝල් ස්ටර්ලින් 31(29)

මුජීබර් රහ්මාන් 1/22

42 views0 comments