• Chathura Ramanayake

ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකාවට අවමන් සහගත පරාජයක් !!



පහළොස්වන ආසියානු කුසලාන තරගාවලිය අද දිනයේදී ආරම්භ විය. තරගාවලියේ පළමු තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම ක්‍රීඩා කළහ. ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළහ.


ඒ ආරාධනයෙන් පිටියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු පන්දුවාරයේ සිටම පීඩනයක් එල්ල කරන්නට ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන්ට හැකි විය. පළමු පන්දුවාරයේදීම කුසල් මෙන්ඩිස් හා චරිත් අසලංක කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකරගන්නට ෆස්ලාහ් ෆාරුකීට හැකිවිය. නවීන් උල් හක්ගේ පන්දුවක් හමුවේ තෙවන විනිසුරුගේ දුර්වල තීරණයක් හේතුවෙන් පැතුම් නිස්සංක අවාසනාවන්ත ලෙසින් දැවීගියේය. ඒ වන විට ශ්‍රී ලංකා ඉනීම ලකුණු 5කට කඩුලු 3ක් ලෙසින් දිස්විය.


අනතුරුව ධනුෂ්ක ගුණතිලක හා භානුක රාජපක්ෂ එක්ව සිව්වන කඩුල්ලට ලකුණු 44ක සබදතාවක් ගොඩනගන්නට විය. ධනුෂ්ක ගුණතිලක ලකුණු 17ක් රැස්කොට සිටියදී රිවස්වීප් පහරක් එල්ල කිරීමට යාමේදී උඩපන්දුවක් ලබා දෙමින් දැවී ගියේය. වනිදු හසරංග ලකුණු 2කට දවාගැනීමට මුජිබර් සමත් වද්දී නායක දසුන් ශානක ලකුණු රැස්කරන්නට පෙරාතුව ක්‍රීඩාගාරයට හරවා යවන්නට මොහොමඩ් නබීට හැකිවිය.


ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ භානුක රාජපක්ෂ හතරේ පහර 5ක් හා හයේ පහරක් සමගින් ලකුණු 38ක් රැස්කොට සිටියදී අවාසනාවන්ත ලෙසින් දුවද්දී දැවීයාමට හසුවිය. මහීෂ් තීක්ෂණද ලකුණු රැස්කිරීමට පෙරාතුව අවාසනාවන්ත ලෙසින් දුවද්දී දැවීයාමට හසුවිය. මතීෂ පතිරණ නවවන කඩුල්ල ලෙසින් දැවීයන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක්ව තිබුණේ ලකුණු 75ක් පමණි.


අනතුරුව අවසන් කඩුල්ලට හුදකලා සටනක නිරත වූ චාමික කරුණාරත්න ශ්‍රී ලංකා ඉනීම ලකුණු 105ක් දක්වා ඔසවා තබන්නට සමත් විය. චාමික පන්දු 38කදී හතරේ පහර 3ක් හා හයේ පහරක් සමගින් ලකුණු 31ක් රැස්කිරීමට සමත් විය. පන්දු යැවීමේදී ඇෆ්ගනිස්තාන වෙනුවෙන් ෆස්ලාහ් ෆරූකි ලකුණු 11කට කඩුලු 3ක් ද මොහොමඩ් නබී හා මුජීබර් රහ්මාන් කඩුලු 2 බැගින්ද බිදහෙලීය.


ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ආරම්භ පිතිකරු යුගලය තරගය පහසුවෙන් ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් විය. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව රිසිසේ පහර එල්ල කළ ගුර්බාස් හා හස්‍රටුල්ලා පන්දුවාර හය තුළ ලකුණු 83ක් රැස්කිරීමට සමත් විය. නමුත් හත්වන පන්දුවාරයේ පළමු පන්දුවේදී හතරේ පහර 3ක් හා හයේ පහර 4ක් සමගින් ලකුණු 40ක් රැස්කොට සිටි ගුර්බාස් දවාගැනීමට වනිදුට හැකිවිය.


ජයග්‍රහණයට ලකුණු 2ක් පමණක් අවශ්‍යව තිබියදී ඊබ්‍රහීම් සද්‍රාන් දුවද්දී දැවීයාමට හසුකරගන්නට මහීෂ්‍ට හැකිවිය. පන්දුවාර 10 පන්දු 1ක් තුළ කඩුලු 2ක් පමණක් දැවී නියමිත ඉලක්කය සපුරාලන්නට ඇෆ්ගනිස්තාන කණ්ඩායමට හැකි විය. ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කරමින් ආසියානු කුසලාන තරගාවලියේ සමාරම්භක තරගයෙන් පහසු ජයක් හිමිකරගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායමට හැකි විය.ඇෆ්ගනිස්තානය වෙනුවෙන් නොදැවී පන්දුවට පහරදුන් හස්‍රටුල්ලා සසායි පන්දු 27කදී හතරේ පහර 5ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 37ක් රැස්කළේය

87 views0 comments