• Chathura Ramanayake

ආසියානු කුසලාන සංචිතය නම් කිරීමට බංග්ලාදේශයට තවත් දින 3ක් !!



ආසියානු කුසලාන තරගාවලිය සදහා වන,සංචිතය නම් කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට තවත් දින 3ක කාලසීමාවක් ලබාදීමට ආසියානු ක්‍රිකට් කවුන්සලය තීරණය කොට ඇත. ඒ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු ආබාධයන්ට ලක්වීම හේතුවෙනි. ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමට සිය අවසන් සංචිතය ප්‍රකාශයට පත් කිරීමට අගෝස්තු 11වනදා තෙක් කල් ලබාදී ඇත.


තරගාවලිය වෙනුවෙන් එක්වන කණ්ඩායම් නම් කිරීමට ලබාදී ඇති කාලසීමාව අගෝස්තු මස 8වනිදායින් අවසන් වෙයි. ඒ අනුව සියලු කණ්ඩායම් අද දිනය තුළදී සිය සංචිතයන් ප්‍රකාශයට පත් කළ යුතුය. ක්‍රීඩකයන් කිහිපදෙනෙකුගේ වෛද්‍ය වාර්තා ලැබීමට තිබීම හේතුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ආසියානු ක්‍රිකට් කවුන්සලයෙන් ඉල්ලීමක් කොට ඇත්තේ සිය සංචිතය නම් කිරීමට තවත් දින කිහිපයක් ලබා දෙන ලෙසයි.


බංග්ලාදේශ ක්‍රීඩකයන් වන ලිටන් ඩාස් හා නරුල් හුසේන් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගාවලිය අතරතුරදී ආබාධයන්ට ලක්විය. බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය මෙම ක්‍රීඩකයන්ගේ වෛද්‍ය වාර්තා අපේක්ෂාවෙන් සිටින අතර ආසියානු කුසලාන තරගාවලිය වෙනුවෙන් ඔවුන්ගේ සහභාගීත්වය අවිනිශ්චිත තත්වයේ ඇත. එමෙන්ම මුස්ටෆිසර් රහ්මාන් , ශෝරිෆුල් ඉස්ලාම් යන ක්‍රීඩකයන් ද ආබාධයට ලක්වී ඇත. ආබාධයන් හේතුවෙන් ආසියානු කුසලාන තරගාවලිය සදහා බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය හිමිවනුයේ කාටද යන්න පිළිබඳවද ගැටලු සහගත තත්වයක් උදාවී ඇත.


" අපි වෛද්‍ය වාර්තා අපේක්ෂාවෙන් ඉන්නවා.ඒවා ලැබුනාම අගෝස්තු 11වෙනිදට කලින් අපි අවසන් සංචිතය නම් කරනවා." යනුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සදහන් කොට ඇත.

755 views0 comments