• Chathura Ramanayake

ආසියානු කුසලාන තරගාවලියෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ආදායමක් !!!



එළඹෙන ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබුණද රට තුළ පවතින තත්වය හේතුවෙන් එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට තීරණය විය. තරගාවලිය සම්බන්ධයෙන් ඊයේ දිනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්විණි. තරගාවලියේ සත්කාරකත්වය හිමිවීම සම්බන්ධයෙන් මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා හා ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක නිළධාරී ඈෂ්ලි සිල්වා මහතා අදහස් දක්වා ඇත.


" අපි තරගාවලිය ලංකාවේ පවත්වන්න උත්සාහ කළා. නමුත් විකාශන හිමිකරුවන් රක්ෂණ කොට ඇති ආයතනය තරගාවලිය ලංකාවේ පවත්වන්න කැමති උනේ නෑ. යම් හෙයකින් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීමට හැකිවුණා නම් එය ආසියානු කුසලාන තරගාවලියට ධනාත්මක ආකල්පයක් එක් කරවීමට හේතුවක් වෙන්න තිබ්බා. එය කල් දැමීමට සිදුවීම ශ්‍රී ලංකාව මුහුණ දුන් විශාලතම පසුබෑමයි."


"ප්‍රධානම පසුබැසීම තමයි එල්.පී.එල්. තරගාවලිය කල්දාපු එක. අපිට ඒ තරගාවලිය පවත්වාගෙන යන්න පුලුවන් වුණා නම් මං හිතන්නේ නෑ මෙච්චර ප්‍රශ්නයක් පැන නගියි කියලා. නමුත් ආසියානු ක්‍රිකට් කවුන්සිලයට මුදල් ලබා ගන්නේ මේ වගේ තරගාවලියකින්. අවුරුදු 3 කින් විතර මේ තරගාවලිය පවත්වලා තිබුණේ නැති නිසා එයාලටත් මුදල් අවශ්‍යයි. නමුත් එයාලා උත්සාහ කළා මේ තරගාවලිය ලබා දෙන්න. ඒත් මේ ආකාරයේ ලොකු තරගාවලියක් ශ්‍රී ලංකාවේ පවත්වන කොට එහි අවධානම ගැන බොහෝ සාමාජික රටවල අවධානය යොමු වුණා. තරගාවලිය අතරතුරදී යම් විදියකින් මොකක් හරි අකරතැබ්බයක් වුණොත් එහෙම ඔවුන් අපිට දොස් කියාවි. එහෙම වුණොත් ඒ රටවලටත් විශාල මුදල් අලාභයකට මුහුණ දීමට සිදුවෙනවා” යැයිද ලේකම්වරයා වැඩිදුරටත් කරුණු පැහැදිළි කර සිටියේය.


"ඇත්තටම මේ තරගාවලිය ලංකාවේ පැවැත්වුවා නම් අපිට තරගාවලිය පැවැත්වීමේ ගාස්තුව හැටියට ඩොලර් මිලියන දෙකහමාරක් එයාලා ලබා දෙනවා. ඒ වගේම තරගාවලියේ ලාභයෙන් ලැබෙන කොටස අඩුම ගානේ මිලියන දෙකහමාරත් තුනත් අතර තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. නමුත් දැන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීම නිසා එයාලා අපිට ඩොලර් මිලියන දෙකහමාරක් සම්පූර්ණයෙන්ම දෙනවා. ඊට අමතරව ටිකට් සල්ලි වලින් තව ඩොලර් මිලියන එකහමාරක් අපිට දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. ඊටත් අමතරව තරගාවලියේ ආදායමේ කොටසෙන් තවත් ඩොලර් මිලියන 2.5 ත් 3 ත් අතර මුදලක් අපිට ලැබෙනවා. ඒ අනුව සම්පූර්ණ ආදායම විදියට ඩොලර් මිලියන 6.5 ක් විතර අපි මේ තරගාවලියෙදි ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා” යැයි මොහාන් ද සිල්වා මහතා අදහස් දක්වා සිටියේය.


මීට අමතරව ඈෂ්ලි සිල්වා මහතාද තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත.

"ඇත්තටම බැලුවොත් ඔව්. අපිට තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අවස්ථාව උදා වුණා නම් රට ගැන ලෝකයට යන පණිවිඩිය ඉතා විශාලයි. ඒ වගේම තරගාවලිය නැරඹීම සදහා විදෙස් රටවල ප්‍රේක්ෂකයින් පැමිණීම හරහා එය රටට ආර්ථික වශයෙන් වාසියක් වෙන්න තිබුණා”

23 views0 comments