• Shaminda Jayarathne

ආසියානු කුසලාන ඉතිහාසයේ පන්දු යැවීමේ සියලුම ගෞරව ශ්‍රී ලංකාවට!


15 වන ආසියානු කුසලාන තරඟාවලිය එළඹෙන සෙනසුරාදා දිනයේදී ඩුබායි රාජ්‍යයේදී ආරම්භ වීමට සූදානමින් පවතිනවා. මෙවර ආසියානු කුසලාන තරඟාවලිය විස්සයි විස්ස ආකෘතිය යටතේ පැවැත්වෙන අතරම මීට ප්‍රථම විස්සයි විස්ස ආකෘතිය යටතේ ආසියානු කුසලානයක් ක්‍රියාත්මක වුණේ 2016 වර්ෂයේදී පමණයි.


නමුත් එක්දින තරඟ ආකෘතිය යටතේ ක්‍රියාත්මක වුණ ආසියානු කුසලාන වලදී පන්දු යැවීමෙන් සියලුම ගෞරව තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්ව තිබෙනවා. ඒ ඉතිහාසයේ ආසියානු කුසලාන පන්දුවාර 50 අවස්ථා වල වැඩිම කඩුලු ලාභීන් අතර මුල් ස්ථාන 3 ම හිමිකරගනිමින්.


1. මුත්තයියා මුරලිදරන් කඩුලු 30


ආසියානු කුසලාන තරඟ 24ක් ක්‍රීඩා කරමින් මුරලිදරන් කඩුලු 30ක් දවාගෙන මෙහි අංක 1 ස්ථානයේ වැජඹෙනවා. කඩුල්ලකට සාමාන්‍ය 28.83 ක වැනි අගයක පවත්වාගන්නා මුරලි පන්දුවාරයකට ලබා දී තිබෙන්නේ ලකුණු 3.75 ක වැනි ඉතාම කුඩා අගයක්. කඩුලු 5 බැගින් දවාගත් අවස්ථා 1ක් මුරලි සතුවන අතර ඔහුගේ ආසියානු කුසලාන වල හොඳම පන්දු යැවීම ලකුණු 31 කට කඩුලු 5ක් ලෙසින් සටහන් වනවා.


2. ලසිත් මාලිංග කඩුලු 29


වැඩිම කඩුලු ලබාගත් ලැයිස්තුවේ දෙවැන්නා මෙන්ම වැඩිම කඩුලු ලබාගත් වේග පන්දු යවන්නාද වන මාලිංග මෙම දස්කම දැක්වීමට ක්‍රීඩා කළ තරඟ සංඛ්‍යාව 14ක්. සාමාන්‍ය 20.55 ක අගයකත් පන්දුවාරයකට ලකුණු 4.65 ක අගයකත් පවත්වා ගැනීමට ඔහු සමත්වී තිබෙනවා. කඩුලු 5 බැගින් දවාගත් අවස්ථා 3ක් ඔහුට හිමි අතරම එයද ආසියානු කුසලාන වාර්තාවක්. මාලිංග ගේ හොඳම පන්දු යැවීම වන්නේ ලකුණු 34 කට කඩුලු 5ක් බිඳ හෙලීමයි.


3. අජන්ත මෙන්ඩිස් කඩුලු 26


වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නන් අතර තෙවන ස්ථානයේ පසුවන මෙන්ඩිස් මේ සඳහා වාර්තා කොට තිබෙන්නේ තරඟ 8ක් පමණක් වීම විශේෂත්වයක්. ඔහුගේ කඩුල්ලක් සඳහා සාමාන්‍ය ලකුණු 10.42 ක විශිෂ්ට අගයක් ගන්නවා. කඩුලු 5 බැගින් දවාගත් අවස්ථා 2ක් සටහන් කරගත් අජන්ත මෙන්ඩිස් ගේ හොඳම පන්දු යැවීම වන්නේ 2008 වසරේ ඉන්දියාවට එරෙහිව ලකුණු 13 කට කඩුලු 6ක් බිඳ හෙලීමයි.


4. සයීඩ් අජ්මාල් කඩුලු 25


තරඟ 12 කදී කඩුලු 25ක් බිඳ හෙලූ පාකිස්තානයේ සයීඩ් අජ්මාල් මෙම ලැයිස්තුවේ සිව්වන තැන රැඳී සිටිනවා. ඔහු විසින් කඩුල්ලකට ලකුණු 19.40 ක හොඳ සාමාන්‍ය අගයක් සහ පන්දුවාරයකට ලකුණු 4.21 ක සාමාන්‍යක් රඳවාගෙන තිබෙනවා. අජ්මාල් ගේ හොඳම පන්දු යැවීම වන්නේ ලකුණු 26 කට කඩුලු 3ක් බිඳ හෙලීමයි.


5. චමින්ද වාස් කඩුලු 23


පළමු 5 දෙනාගේ ලැයිස්තුවේ සිටිනා සිව්වන ශ්‍රී ලාංකිකයා මෙන්ම දෙවන වේග පන්දු යවන්නා ලෙසටද වාස් ගේ නම සඳහන් කළ හැකියි. තරඟ 19ක් තුළදී වාස් මෙම කඩුලු 23 බිඳ හෙලා තිබෙනවා. කඩුල්ලකට ලකුණු 27.78 ක් සහ පන්දුවාරයකට ලකුණු 4.19 ක සාමාන්‍යක්ද ඔහුට හිමියි. චමින්ද වාස් ආසියානු කුසලාන වලදී වාර්තා කළ හොඳම පන්දු යැවීම ලකුණු 30 කට කඩුලු 3ක් බිඳ හෙලීම වශයෙන් සටහන් වනවා.

505 views0 comments