• Chathura Ramanayake

ආසියානු කුසලානය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් අදහස් දක්වයි !!!



ආසියානු කුසලාන තරගාවලිය එළඹෙන අගෝස්තු මාසයේ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාව තුළ පවතින දේශපාලන අර්බුදය හමුවේ තරගාවලිය මෙරටදී පැවැත්වීමට හැකි වේ යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි විශ්වාසයකින් පසු වෙයි. මෙවර තරගාවලිය ශ්‍රී ලංකාව තුළදී පවත්වන්නේද යන්න,පිළිබඳව අවසන් තීරණය ආසියානු ක්‍රිකට් කවුන්සලය විසින් අද දිනයේදී තීරණය කරනු ඇත.


ශ්‍රී ලංකාව පසුගියදා ඕස්ට්‍රේලියාවට එරෙහි පූර්ණ තරගාවලියක් ඉතා සාර්ථකව පවත්වා අවසන් කළහ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ලේකම් මොහාන් ද සිල්වා සදහන් කළේ දේශපාලන අරගලයන්ගෙන් ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා වී ඇති බවයි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ටෙස්ට් තරගාවලිය පැවැත්වෙන අතරතුර ගාලු කොටුවෙහි විරෝධතා පැවැත්වුවද ඒවයින් ක්‍රිකට් තරගවලට කිසිදු බාධාවක් එල්ල නොවීය.


එමෙන්ම පාකිස්තාන කණ්ඩායම තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් වෙනුවෙන් මේ දිනවල මෙරටට පැමිණ තිබීමත් ආසියානු කුසලාන තරගාවලිය පැවැත්වීම කෙරෙහි බලාපොරොත්තු තබාගත හැකි හේතුවක් බව මොහාන් ද සිල්වා මහතාගේ අදහහසයි. පාකිස්තානය කොළඹදී පුහුණු තරගයක්ද ක්‍රීඩා කළ අතර දේශපාලන අරගලයන්ගෙන් ඔවුන්ට කිසිදු බලපෑමක් එල්ල නොවූ බවට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තහවුරු කොට ඇත.


" තරගාවලියේ ශ්‍රී ලංකාවේදී පැවත්වීම පිළිබඳව අපට තවමත් දැඩි විශ්වාසයක් තියෙනවා. අපි ඕස්ට්‍රේලියානු තරගාවලිය සදහා සත්කාරකත්වය ලබා දුන්නා. ඒ වගේම පාකිස්තාන කණ්ඩායමත් මේ වන විට රට තුළ සිටිනවා." යනුවෙන් මොහාන් ද සිල්වා මහතා සදහන් කොට ඇත.

ආසියානු ක්‍රිකට් කවුන්සලයෙන් ඉවත් වීමට යම් බලපෑමක් ඇති දැයි විමසූ අවස්ථාවකදී මොහාන් ද සිල්වා සදහන් කොට ඇත්තේ එවැනි කිසිවක් නොමැති බවයි.

18 views0 comments