• Shahan Fernando

ආසියානු කුසලානය වසර 8කට පසු සිංහ ධජයේ පහස ලබයි.

Updated: Sep 12

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය මීට සුළු මොහොතකට පෙර නිමාව දුටුවේ ශ්‍රී ලංකාවට වසර 8කට පසු ආසියානු කුසලානය රස පහස ලබා දෙමින්.



තරඟාවලිය පුරාවටම කාසියේ වාසිය ජයග්‍රහණය කල කණ්ඩායම තරඟ ජයගත් තරඟාවලියක අවසන් මහා තරඟයේදී කාසිය වාසිය ජයග්‍රහණය කාලේ පාකිස්ථාන නායක බාබර් අසාම්. ඔහු පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කරනු ලැබුවා.


තරඟාවලිය පුරාවටම සාර්ථක වුණු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය වන කුසල්, පැතුම් සහ අංක තුන පිතිකරු ධනුෂ්ක ගුණතිලක මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 36ක් වන විට නැවත ක්‍රීඩාගාරයට හරවා යවන්නට පාකිස්ථාන වේගපන්දු යවන්නන් සමත්වුණා.


ශ්‍රී ලංකාවට යම්තාක් දුරකට හෝ සාර්ථක ආරම්භයක් ලබා දෙන්නට ධනංජය ඩී සිල්වා උත්සාහ කළත් පන්දු 21ක් තුළ ලකුණු 28ක් රැස් කල ධනංජය දැවීයන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 53/4 ක් ලෙස සටහන් වුණා.


ශ්‍රී ලංකාව තවත් අසීරු අවධියකට ඇද වැටුණේ ලකුණු පුවරුව ලකුණු 58ක් වන විට නායක දසුන් ශානකට දැවියාමත් සමඟින්. ශ්‍රී ලංකාවට වේදනාත්මක පරාජයක සේයාවන් පෙනෙන මානයේදී පිටියේ එක්වූයේ භානුක රාජපක්ෂ සහ වනිඳු හසරංග.


ජාත්‍යන්තර තලය තුළ තරඟකාරී බවේ උච්චතම අවධියේ දී පීඩනය හසුරමින් අද්විතීය පිතිකරණයක නියැළීමේ හැකියාව තමන් සතුබව ලොවටම ප්‍රදර්ශනය කිරීමට භානුක සහ වනිඳු සමත් වුණේ හය වන කඩුල්ලට ලකුණු 58ක වේගවත් සම්බන්ඳතාවක් ගොඩනගමින්.


වනිඳු පන්දු 21ක් තුළ ලකුණු 36ක් රැස් කිරීමට සමත්වුණ අතර ඔහුගේ ඉණිමට හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වුණා. 14 වන පන්දු වාරයේ දී වනිඳු දැවී යද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව 116/6 ක් ලෙස සටහන් වුණා.


ඉන් අනතුරුව පිටියේ එක්වුණු භානුක සහ චාමික අවසන් පන්දුවාර 5 තුළදී තවත් ලකුණු 53ක් ශ්‍රී ලංකා ඉණිමට එක් කිරීමට සමත්වුණේ ශ්‍රී ලංකාවට තරඟකාරී ලකුණු පුවරුවක විශ්වාසය ගෙන දෙමින්.


ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත්වුණු භානුක රාජපක්ෂ පන්දු 45ක් තුළ නොදැවී ලකුණු 71ක් රැස්කිරීමට සමත් වුණා. කඩුලු බිඳ වැටෙමින් තිබුණු මුල් පන්දුවාර කිහිපය තුළ කඩුල්ල ආරක්ෂා කරගනිමින් පරිණත ඉනිමක් දියත් කළ ඔහු අවසන් පන්දු වාර කිහිපය තුළ සුපුරුදු ප්‍රහාරාත්මක පිතිකරණයට ප්‍රවිෂ්ට වුණා.


භාණුකගේ ඉනිමට හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් ඇතුළත් වුණා. ඔහුට අනගි සහයක් ලබාදුන් චාමික කරුණාරත්න හයේ පහරක් සමඟින් ලකුණු 14ක් රැස් කිරීමට සමත් වුණා.


හඹාගොස් ජයගැනීමට ප්‍රසිද්ධ ඩුබායි තනතීරුව තුළ ලකුණු 171ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසියේ ප්‍රභාල ආරම්භක පිතිකරණ සුසංයෝගයක් වන බාබාර් අසාම් සහ මොහොමඩ් රිස්වාන්.


සිය මංගල විස්සයි විස්ස තරඟාවලියට ක්‍රීඩා කරන වේගපන්දු යුගලයක් සහිතව පිටියට පිවිසෙන ශ්‍රී ලංකාව නායක බාබර් අසාම් සහ අංක තුන පිතිකරු ෆාකර් සමාන් හට එතරම් වෙලා පිටියේ රැඳී සිටීමට අවස්තාව ලබා දෙන්නේ නෑ.


සිය දෙවන විස්සයි විස්ස තරඟයට ක්‍රීඩා කරන ප්‍රමෝද් මධුෂාන් බාබර් සහ රිස්වාන් නැවත ක්‍රීඩා ගාරයට හරවා යවන්නේ පාකිස්ථානය ලකුණු 22ට කඩුළු 2ක් වැනි අසීරු අඩියකට ඇද දමමින්.


ඉන් අනතුරුව පිටියේ එක්වන මොහොමඩ් රිස්වාන් සහ ඉෆ්තිකාර් අහමඩ් තුන්වන කඩුල්ලට ලකුණු 71ක සම්බන්ඳතාවක් වාර්තා කරන්නේ තරඟය නැවතත් පාකිස්ථානය දෙසට හරවමින්.


නමුත් 13 වන පන්දුවාරයේදී නැවතත් කඩුල්ලක් දාවාගන්නා ප්‍රමෝද් මධුෂාන් ලකුණු 31ක් ලබාගෙන සිටි ඉද්තිකාර් අහමඩ් නැවතත් ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත්වනවා. ඉන් තවත් පන්දු 10කට පසු ප්‍රවේගකාරී පිතිකරුවෙක් වන මොහොමඩ් නවාස් ගේ කඩුල්ල චාමික කරුණාරත්න විසින් දාවාගන්නවාත් සමඟින් තරඟයේ රිද්මය නැවතත් ශ්‍රී ලංකාව වෙතට පැමිණියේ ජයග්‍රහණයේ සේයාවන් පෙන්වමින්.


අත්පත්කරගත් ජයග්‍රාහි රිද්මය නිසැක ජයක් කරා මෙහයවන්නට වනිඳු සමාත්වන්නේ 16 වන පන්දු වටයේදීයි. 16 වන පන්දු වාරයේදී පාකිස්ථාන ඉනිමේ වැඩිම කඩුලු ලාභියා වුණු මොහොමඩ් රිස්වාන්, ප්‍රවේගකාරී පිතිකරුවන් වන ආසිෆ් අලී සහ කුෂ්දිල් ශා පන්දු 5ක් තුළ වනිඳු දාවාගන්නේ තරඟයේ සමස්ත පාලනය ශ්‍රී ලංකාව සතු කරමින්.


ලකුණු 112/7 ක් වැනි අසීරු අඩියක පසුවුණු පාකිස්ථානය තවත් ලකුණු 35ක් සිය ලකුණු පුවරුවට එක් කිරීමට සමත් වුවත් චාමික, මාහිෂ් සහ ප්‍රමෝද් මධුෂාන් අවසන් කඩුළු තිත්වයත් බිඳ හෙළමින් පාකිස්තානයේ සියලු කඩුලු පන්දු වාර විස්ස අවසානයේ ලකුණු 147කට දවාගැනීමට සමත් වුණා.


මේත් සමඟින් වසර 8කට පසු ආසියානු කුසලානයක පහස ලබන්නට ශ්‍රී ලංකාවට හැකිවූයේ වසර ගණනාවක පරාජයේ වේදනාවන්ට තිත තබමින්.


ශ්‍රී ලංකාව ගතකරමින් තිබෙන අතිශය අසීරු කාලපරිච්ඡේදය ස්වර්ණමය ජයග්‍රහණයකින් සැරසූ ශ්‍රී ලංකා කණ්ඩායමට අපගේ උණුසුම් සුභාශිංසන.

96 views0 comments