• Chathura Ramanayake

ආසියානු කුසලානයේ නීතිවිරෝධී පන්දු යැවූ පාකිස්තානුවා !!!



2012 වසරේ එංගලන්ත කණ්ඩායමේ එක්සත් අරාබි එමීර් සංචාරයේ ටෙස්ට් තරගාවලිය එරට ක්‍රිකට් ඉතිහාසයට තවත් අදුරු මතක එක් කළ තරගාවලියක් බවට පත් විය. තරග 3කින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය මුලුමනින්ම පරාජයට පත්වන්නට එංගලන්තයට සිදුවිය. මෙම ලිපියේ කතානායක වන අබ්දුර් රෙහ්මාන් එම තරග සංචාරයේදී එංගලන්තයේ ප්‍රභල සතුරකු බවට පත් විය. අබ්දුර් රෙහ්මාන් මෙම තරගාවලියේදී කඩුලු 19ක් බිදහෙලන්නට සමත් වූ අතර දෙවන ටෙස්ට් තරගයේදි ලකුණු 145ක ඉලක්කය හබාගිය එංගලන්ත පිළ ලකුණු 72කට සීමා වද්දී අබ්දුර් රෙහ්මාන් ලකුණු 25ක් තුළ කඩුලු 6ක් දවාගැනීමට සමත් විය.


එලෙසින් පන්දුවෙන් දසකම් පාමින් සිටි අබ්දුර් රෙහ්මාන්ට 2014 වසරේ පැවති ආසියානු කුසලාන තරගාවලියේදී ඉතා අවාසනාවන්ත සිදුවීමකට මුහුණ පාන්නට සිදුවිය. බංග්ලාදේශ කණ්ඩායම සමගින් මීර්පූර් පිටියේ පැවති තරගයකදී කාසියේ වාසිය දිනූ මුෂ්ෆිකර් රහීම් පළමුව පිත්ත අතට ගන්නට තීරණය කළේය. සුදු පැහැ පන්දුව දෝතට ගත් උමාර් ගුල්ට මුහුණ දීමට ඉම්රුල් කයස් සමගින් එනමුල් හක් පිටියට පිවිසියහ.


පවර්ප්ලේ කොටසේ පන්දුවාර දහය තුළ කිසිවෙකු නොදැවී ලකුණු 39ක් රැස්කිරීමට ඔවුන් දෙදෙනාට හැකිවිය. ඉනීමේ එකොළොස්වන පන්දුවාරය යැවීමට ලිපියේ කතානායක වන අබ්දුර් රෙහ්මාන් කැදවන්නට නායක මිස්බා උල් හක් තීරණය කළේය. වමතින් දගපන්දු යවන ක්‍රීඩක අබ්දුර් රෙහ්මාන් එම පන්දුවාරයේ පළමු පන්දුව යොමු කළද එම පන්දුව ඔහුගේ අතින් ගිලිහී යනු දක්නට ලැබිණි. පිතිකරුවාගේ හිස මට්ටමෙන් ඇදී යන පන්දුව කඩුලු රකින ක්‍රීඩක උමාර් අක්මාල් විසින් රැකගන්නේ වයිඩ් සීමා ඉරෙන් පිටතදීය. ඒ අනුව පිතිකරුගේ හිස මට්ටමෙන් ඇදී ගිය නිසාවෙන් එය නිපන්දුවක් ලෙසින් විනිසුරුවරයා සලකුණු කළේය.


පළමු නීත්‍යානුකූල පන්දුව යොමු කිරීමට අබ්දුර් රෙහ්මාන් නැවත වරක් සීමා ඉර වෙත පැමිණෙද්දී මෙවර යොමු කළ පන්දුව පුල්ටොස් පන්දුවක් ලෙසින් පිතිකරුවාගේ පිත්ත වෙතම ඇදී යන ආකාරය දැකගත හැකිවිය. එම පන්දුවට ඉම්රුල් කයස් ඩීප් මිඩ් විකට් කලාපයෙන් පහරක් එල්ල කළද පන්දු රකින්නෙකු රදවා සිටි බැවින් එම පහර උඩපන්දුවක් බවට පරිවර්තනය විය. උඩපන්දුව සුරැකිව රැකගත් පාකිස්තාන කණ්ඩායම එය සැමරීම සිදුකළද තෙවන විනිසුරු වෙත යොමුකළ පසු එය නිපන්දුවක් ලෙසින් සලකුණු කෙරිණි.


කෙසේ හෝ මීළග පන්දුව නීත්‍යානුකූල පන්දුවක් ලෙසින් යොමු කිරීමේ අදිටනින් අබ්දුර් රෙහ්මාන් නැවතත් සීමා ඉර කරා ළගා විය. එවරද පෙර පරිද්දෙන්ම පුල්ටොස් පන්දුව පිතිකරුවාගේ පිත්ත වෙතටම ඇදී යද්දී එය හතරේ පහරක් කරා පරිවර්තනය කරගන්නට එනමුල් හක්ට හැකිවිය. එයද නිපන්දුවක් ලෙසින් සටහන් කළ විනිසුරුවරයා අබ්දුර් රෙහ්මාන් අතට ඔහුගේ හිස්වැසුම යළි ලබාදුන්නේ පන්දුවාරය අවලංගු කරමිනි.


කිසිදු නීත්‍යානුකූල පන්දුවක් යොමු නොකළද ඔහුට එරෙහිව රැස්කළ ලකුණු 8ට ඔහුගේ නම ඉදිරියේ සටහන් විය. මෙම තරගයේදී එනමුල් හක් ශතකයක් වාර්තා කළ අතර මොමිනුල් හක් හා ඉම්රුල් කයස් අර්ධ ශතක රැස්කිරීමට සමත් වූහ. අනතුරුව ශකිබ් ගා මුෂ්ෆිකර් නොදැවුනු ලකුණු 77ක් එක් කරමින් බංග්ලාදේශ ලකුණු පුවරුව කඩුලු 3කට ලකුණු 326ක් තෙක් ඔසවා තබන්නට විය. පාකිස්තාන ආරම්භක පිතිකරු අහමඩ් ශෙෂාඩ්ගේ ශතකය හා ශහීඩ් අෆ්‍රිඩිගේ වේගවත් ලකුණු 59 සමගින් තරගය ජයග්‍රහණය කිරීමට පාකිස්තානයට හැකිවිය. මෙම තරගයෙන් පසු අබ්දුර් රෙහ්මාන් නැවත කිසිදිනක ජාත්‍යන්තර එක්දින පිටියේ දක්නට නොලැබුණි.

38 views0 comments